ලෙස්ටර් ජේම්ස් පීරිස්: දැයෙන් සමුගත් ලාංකීය සිනමාවේ පහන් ටැඹ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අභාවප්‍රාප්ත ශ්‍රී ලංකාවේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුන අවමගුල් උත්සවයකදී දැයෙන් සමුගත්තේය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් විසින් හෙළ සිනමාව වෙනුවෙන් ඉටු කරන ලද අනුපමේය මෙහෙයට ගෞරව කිරීමක් ලෙස බදාදා (මැයි 02) ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණි.
දෙස් - විදෙස් සිනමා ශිල්පීන්, විචාරකයන් සහ සිනමාලෝලීන් ලාංකීය සිනමාවේ දැවැන්තයාට සිය ප්‍රණාමය පුද කළහ.
බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ප්‍රවීන සිනමා විචාරක ගාමිණී වේරගම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හඳුන්වා දුන්නේ "ලාංකීය සිනමාවේ පියා" සහ "මහා ප්‍රාඥයා" ලෙසිනි.
අවමගුල් උත්සවයට සහභාගි වී යළි නිවසට පැමිණි මොහොතේ බීබීසියට අදහස් දැක්වූ ගාමිණී වේරගම "අපේ සිනමාවේ පීතෘවරයා, අපේ සිනමාවේ ශ්‍රේෂ්ඨයා අප අතහැර ගිය" බව සඳහන් කළේය.
"මා දකින විදියට ඔහු තමයි අපේ සිනමා කලාවේ ආරම්භකයා. ඔහුගෙන් පසු බිහිවන නව සිනමා පරම්පරාවට මාර්ගය හෙළි පෙහෙළි කර දුන්න, ඔවුන්ට පහන් ටැඹක් බවට පත්වෙච්ච පරමාදර්ශී සිනමාකරුවා ඔහුයි. ඔහුගෙන් තොරව අපට සිනමා කලාව ගැන කතාකරන්නට බෑ."
තවදුරටත් අදහස් දැක්වූ ප්‍රවීන සිනමා විචාරක ගාමිණී වේරගම, "ශ්‍රී ලංකාවේ සිනමා කලාව යනු ලෙස්ටර් ජේම්ස් පීරිස්" බව කියා සිටියේය.
ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම වැනි දෙස්, විදෙස් සමානවලට පාත්‍ර වූ ප්‍රවීන සිනමාවේදීන් මෙන්ම විමුක්ති ජයසුන්දර සහ සංජීව පුෂ්පකුමාර වැනි නව පරපුරේ සිනමාවේදීන් සියලු දෙනාම නව මංපෙත් සොයා යමින් සිනමා ක්ෂේත්‍රයේ පියමැන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසුන් විවර කළ මාර්ගය ඔස්සේ බව ඔහු පෙන්වා දුන්නේය.
"ඒ නිසා ඔහු අපේ පීතෘවරයා."
"ඉතින් ඔබ දන්නවනේ පියෙක් අභාවප්‍රාප්ත වුනහම පුත්‍රයෙකුට දැනෙන වේදනාව? ඒ වේදනාවම තමයි අපටත් දැනෙන්නේ." ගාමිණී වේරගම පවසයි.
1947 දී එංගලන්තයේ සිට Times of Ceylon පුවත්පතේ වාර්තාකරුවෙකු ලෙසින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ආචාර්ය පීරිස්, මුලින්ම චිත්‍රපටකරණයට පිවිසෙන්නේ එහිදීය.
1950 දී නිර්මාණය කරන ලද Farewell to Childhood ඔහුගේ මුල්ම කෙටි චිත්‍රපටයකි.
එංගලන්තයේදී ඔහු නිර්මාණය කළ දෙවැනි කෙටි චිත්‍රපටය ඒ වසරේ හොඳම ආධුනික කෙටි චිත්‍රපට දහය අතරට එක් වූ බව ගාමිණී වේරගම සිහිපත් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ ඔහු මුලින්ම යොමුවන්නේ වාර්තා චිත්‍රපට කෙරෙහිය.
ශ්‍රී ලාංකේය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා ලෙස ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් බුහුමන් ලබයි.
රේඛාව, සංදේශය, ගම්පෙරළිය, අක්කර පහ, ගොලු හදවත, නිධානය, කලියුගය, යුගාන්තය,වීර පුරන්අප්පු, බැද්දේගම, දෑස නිසා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණයෙන් නිමැවුණ සිනමා සිත්තම් අතරින් කීපයකි.
"දැන් 1956 රේඛාව බිහිවීම අපේ හැරවුම් ලක්ෂයනේ. ඒක අපි හඳුන්වන්නෙම පළවෙනි කැරැල්ල විදියට. ඔහු අපට පළවෙනි සිනමාරූපී චිත්‍රපටය ලබාදෙනවා රේඛාව නමින්," ගාමිණී වේරගම පැවසීය.
"ඒ වගේම ලෝකය, ශ්‍රී ලංකාව නැමති රටේ සිනමාවක් තියෙන බව දැනගන්නේ රේඛාව නිසා. රේඛාව කාන් සිනමා උළෙලට ගියාට පස්සේ."
බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ප්‍රවීන සිනමා විචාරක ඈෂ්ලි රත්නවිභූෂණ, ධනවත් රෝමානු කතෝලික පවුලක උපත ලබා හැදී වැදුණු නමුත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ හද ගැස්ම හඳුනාගැනීමට හැකිවීම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ සුවිශේෂී ලක්ෂණය බව පෙන්වා දුන්නේය.
තවත් කියවන්න:
ලන්ඩනයේ මාධ්‍යවේදියෙකු ලෙසින් සේවය කිරීමෙන් අනතුරුව, ඉතාලි ජාතික මහා සිනමාකරුවන් කිහිප දෙනෙකු යටතේ රජයේ චිත්‍රපට අංශයේ සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ක්‍රියා කළ සමයේ ඔහු ලැබූ ආභාෂය එයට පිටුවහල් වූ බවත් ඈෂ්ලි රත්නවිභූෂණ සඳහන් කළේය.
අභාවප්‍රාප්ත මහා සිනමාවේදියාට කළ හැකි හොඳම ගෞරවය ඔහුගේ නිර්මාණ වහාම සංරක්ෂණය කිරීම බව ඔහුගේ අදහසය.
"ඉදිරි පරම්පරාවට නැරඹීමට හැකිවන පරිදි මේවා ඩිජිටල් සංරක්ෂණගත කළ යුතුයි."
මෑතදී 'නිධානය' චිත්‍රපටය එසේ සංරක්ෂණය කෙරුණ නමුත් අචාර්ය පීරිස් නිර්මාණය කළ චිත්‍රපට පමණක් නොව, අනෙක් ලාංකීය සිනමා සිත්තම් ද හැකි ඉක්මනින් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව දැයෙන් සමුගත් මහා සිනමා ශිල්පියා බොහෝ විට පෙන්වා දුන් කරුණක් වූ බව ප්‍රවීන සිනමා විචාරක ඈෂ්ලි රත්නවිභූෂණ පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සිනමා ශිල්පීන්ගේ නිර්මාණශීලී හැකියාව පිළිබඳ ගැටලුවක් නොමැති වුවත්, චිත්‍රපට කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ දී සිටීම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ කනස්සල්ලට හේතු වී තිබිණ.
"ලංකාවේ ජාතික සිනමාවේ කර්මාන්තයක් වශයෙන් අර්බුදයක් තිබුනට කලාත්මක වශයෙන් අර්බුදයක් මම දකින්නේ නෑ."
නිවසේ තැන්පත් කර තිබුණ දේහය බදාදා උදෑසන රථ පෙරහැරකින් නිදහස් චතුරශ්‍රය කරා ගෙන ආ අතර ජාතික චිත්‍රපට සංස්ථාව අසළ දී සිනමාවේදීන් ඇතුළු කලාකරුවෝ දේහයට පුෂ්පෝපහාර දැක්වූහ.
අනතුරුව මහජන ගෞරවය සඳහා දේහය නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කරන ලද අතර සවස 3.00 අවමංගල්‍ය උත්සවය ආරම්භ විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මැති ඇමතිවරුන් මෙන්ම කලා ලෝකයේ ප්‍රවීණයන් රැසක්ද අවමංගල්‍ය උත්සවය එක්ව සිටියහ.
"ලෙස්ටර් ජේම්ස් පීරිස් ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනවා කියලා - ලෝකයට පෙන්වපු ගාන්ධර්වවරයෙක්," සිනමා නිළි වසන්ති චතුරාණි සිය ආචාරය පුද කරමින් බීබීසී සිංහල සේවයට කියා සිටියාය.
"අපි එතුමාගෙන් ඉගෙන ගත් ඉතා වටිනාම දෙය විනය ගරුක ලෙස ජීවත්වීමයි," වසන්ති චතුරානි පවසන්නීය.
සිනමා ක්ෂේත්‍රය තුල විනය ආරක්ෂා කිරීමට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් විශාල කාර්ය භාරයක් කර ඇති බවත් ඇය සඳහන් කළාය.
"අද වන විට තාක්ෂණය දියුණු වී තිබුණත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි මහා දැනුමක් සහ අවබෝධයක් සහිත අධ්‍යක්ෂවරුන් ශ්‍රී ලංකාවෙන් බිහි නොවීම කණගාටුවට කරුණක්," බවත් සිනමා නිළි වසන්ති චතුරානි පෙන්වා දෙයි.
"තාක්ෂණය දියුණු නිසා අද හැමෝම හිතනවා අධ්‍යක්ෂණය කියන්නේ ලේසි දෙයක් කියලා. ඒ වගේ අයත් එක්ක වැඩ කරන්න ගියාම අපට වැටහෙනවා ඔවුන්ට කිසිම වගකීමක් සහ දැනීමක් නැති බව. අපි හරි වාසනාවන්තයි, මොකද? අපි ලෙස්ටර් ජේම්ස් පිරිස් වැඩ කරන හැටි දැකලා තියෙනවා" ඇය වැඩි දුරටත් සඳහන් කළාය.
සිනමා සහ වේදිකා රංගවේදී පාලිත සිල්වා බීබීසියට අදහස් දක්වමින් "ශ්‍රී ලංකාවේ ජන ජීවිතයේ හරය ලෝකය ඉදිරියට ගෙන ගියේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්" බව කියා සිටියේය.
"මේ රටේ උපදින සියලු කලාකරුවන්ට එතුමා පෙන්නුවා ඉතා නිවැරදිව යන්න පුළුවන් මාර්ගය මොකක්ද කියලා ? නමුත් අද දවසේ අපට ප්‍රශ්නය වෙලා තියෙන්නේ අපි ඒ මාවත හඳුනා ගත්තාද කියන එකයි" පාලිත සිල්වා ප්‍රශ්න කරයි.
සබැඳි පුවත්;
- ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් සමුගනී
- Netflix ජාලයේදී ඇස ගැටෙන ‘ඇගේ ඇස අග’
- වසන්ත ඔබේසේකර: සමාජය විවරණය කළ නිර්භීත කලාකරුවා
- ටෝනි දිවි රඟ මඬලෙන් නික්මෙයි
- "වාණිජ චිත්‍රපට කඩාවැටිලා"
- 'ලෙස්ටර්' නම් වූ 'නිධානය'
- වීර කතාවලින් ඔබ්බට ගිය යාපනයේ සිනමාව
- පතිරාජ : "කැමරා ඇසින් සැබෑව දුටු සැබෑ මිනිසා"
- ධර්මසේන පතිරාජ දිවියෙන් සමුගනී










