‘ලෙස්ටර්' නම් වූ 'නිධානය'

1947 වසරේ 'කඩවුනු පොරොන්දුව' කතානාද චිත්‍රපටයෙන් ඇරඹි සිංහල සිනමාව එතෙක් හිරවී තිබූ හරි හතරැස් අච්චුවෙන් මුදවාලීමේ හැරවුම් 'රේඛාව' සිංහල සිනමාවකාශයේ ඉරණම් රිදී රේඛාවක්ම විය (Line of destiny).

ඡායාරූප මූලාශ්‍රය, Lake House

1956 වසරේදී සිංහල සිනමාවට නව මංපෙතක් හෙලිදරව් කරමින් ශ්‍රී ලාංකේය සිනමාවේ මුදුන් මල්කඩ බඳු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ස්වකීය සමකාලීනයන් වූ විලී බ්ලේක් කැමරා අධ්‍යක්ෂණයෙනුත්, ටයිටස් තොටවත්ත කලා අධ්‍යක්ෂණයෙනුත්, මර්සිලීනු ජයකොඩි පියනම ගේය පද රචනයෙනුත්, බී.එස්. පෙරේරා සංගීත අධ්‍යක්ෂණයෙනුත්, සුනිල් ශාන්තයන් තනු සම්පාදනයෙනුත් දායකව ‘රේඛාව' චිත්‍රපටය සිංහල සිනමාවට තිළිණය කරන ලදී.

එවක් පටන් අද දක්වා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අදියුරාණන් හා ශ්‍රී ලාංකේය සිනමාව හා පවතින්නේ අවියෝජනීය සම්බන්ධතාවයකි. ශ්‍රී ලංකේය සිනමාවේ නිධානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යන්න අවිවාදිතය.