වීර කතාවලින් ඔබ්බට ගිය යාපනයේ සිනමාව

'ඇත්තටම අපි මේ කියවන ඉතිහාසය ඉතිහාසයද?'

ඡායාරූප මූලාශ්‍රය, Anoma Rajakaruna

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඇත්තටම අපි මේ කියවන ඉතිහාසය ඉතිහාසයද?'
    • Author, සුනෙත් පෙරේරා
    • Role, බීබීසී සිංහල

යාපනයේ පළමු වරට ජාත්‍යන්තර සිනමා උළෙලක් සංවිධානය කළේ, උතුරත් දකුණත් අතර කිසියම් ගනුදෙනුවක් ඇති කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් බව සංවිධායකයෝ පවසති.

"අවුරුද්දේ විවිධ මාසවල වරින්වර සිදු වුනු සියලු ක්‍රියාකාරකම් එක වේදිකාවකට ගෙනල්ලා එකවර උළෙලක් විදිහට ඉදිරිපත් කිරීමක් තමයි මෙහිදී සිදු වුනේ," සිනමා උළෙලේ අධ්‍යක්ෂකවරිය අනෝමා රාජකරුණා කියා සිටියේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

යුද්ධය නිසා බිඳුණු හදවත් සුවපත් කිරීමට සිනමාව ප්‍රවේශයක් කර ගත හැක්කේ කෙසේදැයි යන්න පැහැදිලි කරමින් ඇය සඳහන් කළේ පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ බිහි වූයේ ''රජ කතා සහ ඉතිහාස කතා පමණක්'' බවයි.

"ඇත්තටම අපි මේ කියවන ඉතිහාසය ඉතිහාසයද?"

රජ කතා සහ වීර කතාවලට පමණක් කැප වූ ලාංකීය සිනමාවක් තුළ උතුරේ තරුණ පිරිස් සිය නිර්මාණ හරහා තම ජීවන වෘතාන්ත තිරයට නැගීමට උත්සාහ කරන බවයි ඇය කියා සිටියේ.

'තරුණ පරපුරෙන් ඉහළ ප්‍රතිචාර'

ඡායාරූප මූලාශ්‍රය, Anoma Rajakaruna

ඡායාරූප ශීර්ෂ වැකිය, 'තරුණ පරපුරෙන් ඉහළ ප්‍රතිචාර'

"ඒ ඔවුන්ගේම කතා මේ කලාපයෙන් බැහැර පිරිසකට දැන ගැනීමේ අවස්ථාවක් ලැබිලා තියනවා. මේ උළෙලට ඇතුළත් නිර්මාණ අතුරින් වැඩි හරියක් දෙමළ භාෂාවෙන් මේ කලාපයේ නිර්මාණය වෙච්ච නිර්මාණ."

ජාත්‍යන්තර සිනමා උළෙල හරහා සිනමාව නැරඹීම සඳහා ප්‍රේක්ෂකාගාරයක් ගොඩ නැගෙන බවත් එමගින් දෙපාර්ශවය අතර සන්නිවේදනයක් ගොඩ නැගෙන බවත් සිනමා නිර්මාණ ශිල්පිනී අනෝමා රාජකරුණා පෙන්වා දෙන්නීය.

"කෙටි චිත්‍රපටකරුවෝ විසි තුන් දෙනෙක් චිත්‍රපටි ඉදිරිපත් කරලා තියනවා. ඔවුන්ගෙන් සමහරක් සිංහල කතා කරන අය. ඔවුන්ගෙන් සමහරක් දෙමළ කතා කරන අය. අපි දැක්කා ඔවුන් අතර ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ සාකච්ඡාවක් ඇති වෙනවා."

සිනමාව වැනි ප්‍රකාශන මාධ්‍යයක් උපයෝගී කොට ගෙන මෙතෙක් පළ නොකළ අදහස් පළ කිරීමට මෙම නිර්මාණකරුවන්ට උළෙල හරහා අවස්ථාව ලැබී ඇති බවයි ඇය පවසන්නේ.

බිඳුණු හදවත් සුවපත් කිරීමට 'සිනමාව ප්‍රවේශයක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, බිඳුණු හදවත් සුවපත් කිරීමට 'සිනමාව ප්‍රවේශයක්'

කෙටි චිත්‍රපට නිර්මාණ ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් බිහි වන්නේ යාපනයේ බවත් ඇය සඳහන් කළාය.

සිනමා උළෙල සඳහා උතුරේ මෙන්ම කොළඹ ඇතුළු ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණි තරුණ සිනමා ලෝලීන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු බවත් සිනමා උළෙලේ අධ්‍යක්ෂකවරිය අනෝමා රාජකරුණා වැඩිදුරටත් කියා සිටියාය.

සැප්තැම්බර් 15 වැනි දින ආරම්භ වූ සිනමා උළෙල 21 වනදා දක්වා පැවැත්වේ.