Netflix ජාලයේදී ඇස ගැටෙන ‘ඇගේ ඇස අග’

ඇගේ ඇස අග චිත්‍රපටයෙන්

ඡායාරූප මූලාශ්‍රය, Let Her Cry

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇගේ ඇස අග Netflix ජාලයට මුදාහැරීමෙන් අනතුරුව ලොව පුරා වෙසෙන බොහෝ ප්‍රේක්ෂකයන්ගෙන් ඇමතුම් ලැබෙන බව අධ්‍යක්ෂ අශෝක හඳගම පවසයි

ලොව ඕනෑම තැනක සිට සිනමා නිර්මාණ නැරඹීමේ හැකියාව ලැබෙන Netflix ජාලයට ප්‍රථමවරට සිංහල චිත්‍රපටයක් මුදාහැරීමට අවස්ථාව ලැබීම සිංහල සිනමාවට නව දොරටුවක් විවෘතවීමක් බව සිනමා ශිල්පීහු පවසති.

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ඒ බව සඳහන් කළේ අශෝක හඳගම අධ්‍යක්ෂණ කළ 'ඇගේ ඇස අග' (Let Her Cry) සිනමා සිත්තම Netflix ජාලයට මුදාහැරීම පිළිබඳව බීබීසී සංදේශය සමග අදහස් දක්වමිනි.

මෙය කිසිසේත්ම සිනමා ශාලාවලට එරෙහි පියවරක් නොවන බව පවසන සිනමා ශිල්පී ප්‍රසන්න විතානගේ, සිනමාව පූර්ණ වශයෙන් රස විඳිය හැක්කේ සිනමා ශාලාව තුළ බව අවධාරණය කළේය.

"දැනටමත් DVD තැටි මාර්ගයෙන් අපේ සිනමාව ලෝකයට විවෘත වෙනවනේ. අපි කරන්නේ චිත්‍රපටයේ ආයු කාලය වැඩි කරන එක," ඔහු පැවසීය.

ඇගේ ඇස අග චිත්‍රපටයෙන්

ඡායාරූප මූලාශ්‍රය, Netflix

ඡායාරූප ශීර්ෂ වැකිය, Netflix ජාලයේ අන්තර්ජාලයට මුදා හැරීම නිසා දැන් අපේ සිනමාව මුළු ලෝකයටම විවෘත වෙනවා - ප්‍රසන්න විතානගේ

උදාහරණයක් ලෙසින් හොලිවුඩ් හෝ බොලිවුඩ් සිනමා නිර්මාණ හැරුණු කොට සිංහල සිනමා සිත්තමක් ලන්ඩන් නුවර හෝ වොෂිංටනයේ ප්‍රදර්ශනය කිරීම ඉතා දුෂ්කර සහ වියදම් අධික ක්‍රියාවලියක් බව පෙන්වා දෙන ප්‍රසන්න විතානගේ, Netflix ජාලය මගින් එම ගැටලුවට පිළියමක් සපයා දී තිබෙන බව පැවසීය.

"ඇත්තටම Netflix ජාලයේ අන්තර්ජාලයට මුදා හැරීම නිසා දැන් අපේ සිනමාව මුළු ලෝකයටම විවෘත වෙනවා"යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

ඇගේ ඇස අග Netflix ජාලයට මුදා හරිනු ලැබුවේ සිංහල සිනමාවේ නිම් වළලු පුළුල් කිරීමේ අරමුණින් ප්‍රසන්න විතානගේ ඇතුළු පිරිසක් විසින් පිහිටුවා ගන්නා ලද 'සිනමාස් ඔෆ් ශ්‍රී ලංකා' (cinemasofsrilanka.com) සංවිධානය විසිනි.

භාෂා ගණනාවකින් උප සිරැසි සහිතව සිය චිත්‍රපටය Netflix ජාලයේ නැරඹිය හැකිවීම සතුටට කරුණක් බව පැවසූ අධ්‍යක්ෂ අශෝක හඳගම, ලොව පුරා බොහෝ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් දැනටමත් තමන්ට ප්‍රතිචාර ලැබෙමින් පවතින බවත් සඳහන් කළේය.