'උසාවිය නිහඬයි' සිනමා සිත්තමට උසාවියෙන් අවසර

'උසාවිය නිහඬයි' සිනමා සිත්තමට උසාවියෙන් අවසර

ඡායාරූප මූලාශ්‍රය, Silence in the courts

ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'උසාවිය නිහඬයි' චිත්‍රපටය තිරගත කිරීම වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය ඉවත් කළේය.

හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ දිසා අධිකරණය මෙම වාරණ නියෝගය පනවා තිබුණි.

නව අධිකරණ තීන්දුවෙන් 'උසාවිය නිහඬයි' චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා මුදාහැරීමට ඉඩ ප්‍රස්තාව සැලසෙන බව එහි අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ කියා සිටියේය.

"මේ නඩු තීන්දුව පිළිබඳව අපි සතුටු වෙනවා. මේ හරහා ප්‍රකාශනයේ නිදහස ශක්තිමත් වෙනවා පමණක් නෙවෙයි ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියත් තහවුරු වෙනවා." ඔහු පැවසීය.

'උසාවිය නිහඬයි' සිනමා සිත්තමට උසාවියෙන් අවසර

ඡායාරූප මූලාශ්‍රය, Dinamina

පැමිණිල්ල ඉදිරිපත් කරමින් හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක චෝදනා කළේ මෙම චිත්‍රපටය තිරගත වුවොත් තමාටත් මෙරට අධිකරණ පද්ධතියටත් විශාල කැළලක් සිදුවන බවය.

වාරණ නියෝගයට එරෙහිව අධිකරණයේ කරුණු දැක්වූ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ඇතුළු වගඋත්තරකාර පාර්ශවය අදාළ වාරණය ලබාගැනීම සඳහා පැමිණිලිකරු ඉදිරිපත් කළ ලේඛනවල තාක්ෂණික දෝෂ රැසක් පවතින බව තර්ක කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අධිකරණය වාරණ නියෝගය ඉවත් කිරීමට තීන්දු කළ අතර නඩුවට අදාළ විරෝධතා ජනවාරි මස 19 වෙනිදා ඉදිරිපත් කරන මෙන් නියෝග කළේය.