විශ්වාසභංගය: ජනපති සහ එජාපෙ ඇමතිවරු අතර හදිසි සාකච්ඡාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් අතර සඳුදා (අප්‍රේල් 02) රාත්‍රියේ පැවති හදිසි සාකච්ඡාව සම්මුතියකින් තොරව අවසන් වී තිබේ.
එහිදී පැවති අදහස් හුවමාරුවෙන් අනතුරුව අඟහරුවාදා (අප්‍රේල් 03) උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.
එහිදී දෙපාර්ශවය අතර සම්මුතියක් සඳහා අවසාන පැය 24 ඇතුළත උත්සාහයක් දැරෙනු ඇති බව ද අමාත්‍ය මනෝ ගනේෂන් ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මේ අතර සාකච්ඡාව පිළිබඳ බීබීසී සිංහල සේවය සමග විස්තර කළ එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරයෙක් කියා සිටියේ, දෙමළ ජාතික සන්ධානයේ සහාය සහිතව විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට උත්සාහ දරන්නේ නම් එමගින් රටේ ජනතාව එය වැරදි ලෙස අර්ථ දැක්වීමට ඉඩ තිබෙන බව ජනාධිපතිවරයාගේ තර්කය වූ බවය.
එහෙත් ජනාධිපතිවරයා ද තේරී පත්වූයේ දෙමළ ජාතික සන්ධානයේ සහාය ද සහිතව බව මුදල් අමාත්‍ය මංගල සමරවීර එහිදී පෙන්වා දී තිබේ.
ඒ අවස්ථාවේ සිය දැඩි ස්ථාවරය මඳක් වෙනස් කළ ජනාධිපතිවරයා, කෙසේ වුවත් ආණ්ඩුවේ ප්‍රබල වෙනසක් විය යුතු යයි අවධාරණය කළ බව ද නම සඳහන් නොකරන මෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා බීබීසීයට පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එමෙන්ම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ද මතභේද පවතින්නේ යයි ජනාධිපතිවරයා පිළිගත් බව ද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් විශ්වාසභංග යෝජනාවට සහාය පළකරන ස්ථාවරයේ සිටින බවත්, "ඇතැම් අය" මධ්‍යස්ථ ස්ථාවරයක් දරන අතර තව පිරිසක් එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් නිල ස්ථාවරය ප්‍රකාශයට පත්කොට නැත. කෙසේ වුවත් තමන් පුද්ගලිකව එයට 'තරයේ විරුද්ධ' බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය.
තවත් කියවන්න:








