විශ්වාසභංගය: "රනිල් නොමැති" ආණ්ඩුවකට ශ්‍රීලනිප ආරාධනයක්

ජනපති සහ අගමැති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අගමැති රනිල් වික්‍රමසිංහ නොමැති පුළුල් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලුම පාර්ශ්වවලට ආරාධනා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධවීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපහසු කටයුත්තක් වනු ඇති බව එම පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී දිසානායක පෙන්වා දුන්නේය.

ඔහු ඒ බව කියා සිටියේ අද (මාර්තු 26) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරනවා ද නැද්ද යන්න ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළ ඇමතිවරයා මාධ්‍යවේදීන් හමුවේ දිගින් දිගටම කියා සිටියේ "ඊට විරුද්ධ වීමේ හැකියාවක් නොමැති" බවය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් නිල තීන්දුවකට පැමිණ නොමැති බව සඳහන් කළේය.

කෙසේ නමුත් විශ්වාසභංග යෝජනාවේ අඩංගු කරුණුවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වන බව කී ඔහු මතභේදයට තුඩු දී ඇති මහබැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් අගමැතිවරයා අනුගමනය කළ ක්‍රියාපිළිවෙත දැඩි විවේචනයට ලක් කළේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, විශ්වාසභංගය ගැන ශ්‍රීලනිපය

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්නේ නම් ශ්‍රීලනිපය නියෝජනය කරන ඇමතිවරුන් ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය කරන ප්‍රකාශ පිළිබඳ කළ විමසීමේදී ඔහු කියා සිටියේ එවැනි අවශ්‍යතාවක් නොමැති බවය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මතය කුමක්දැයි යන්න විමසු විට ඇමතිවරයා ඉල්ලා සිටියේ එය ජනාධිපතිවරයාගෙන් විමසන ලෙසය.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 04 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.

විවාදය පැවැත්වෙන දින සවස විශ්වාසභංගය පිළිබඳ ජන්ද විමසීම පැවැත්වෙනු ඇත.

විශ්වාසභංග යෝජනාව පහසුවෙන් පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් අත්සන් 55 ක් අඩංගු විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසන්නේ විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සුදානම් බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කතානායකවරයා සමඟ
ඡායාරූප ශීර්ෂ වැකිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට භාර දුන් අවස්ථාව

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනාගේ සහාය ද විශ්වාසභංග යෝජනාවට හිමිව තිබෙන බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 96 දෙනා සමග තමන්ට දැනට මන්ත්‍රීවරු 102 ක සහාය තිබෙන බව මාර්තු 21 වෙනිදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ නමුත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කිරීමට සැරසෙන විශ්වාසභංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මාර්තු 19 වෙනිදා බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

සබැඳි යොමු: