ඉවත් නොවුනොත් රනිල්ට එරෙහිව විශ්වාස භංගයක් - පාලිත රංගේ බණ්ඩාර

ඡායාරූප මූලාශ්‍රය, PALITHA RANGE BANDARA/FB
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් හා අගමැති ධූරයෙන් ඉවත් නොවුවහොත්, ඔහුට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ පුත්තලම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉරිදා (පෙබරවාරි 25) පැවති අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයාට ද කැබිනට් අමාත්‍ය පදවියක් ලබාදෙනු ඇතැයි මාධ්‍ය වාර්තා පළ වී තිබුණි. එහෙත් සංශොධනයේදී ඔහුට එවැනි නව පත්වීමක් නොලැබුණි.
"නෑ මං හිතන්නේ අපි පුත්තලමේ ඉන්න බූරුවෝ. රටටම කියන්නේ 'පුත්තලම් බූරුවෝ' කියලනේ. පුත්තලමේ ප්‍රශ්නවලට එවන් අවස්ථාවක් දෙන්න වුවමනාවක් නෑ කියලා තමයි දන්නේ.." යනුවෙන් ඒ පිළිබඳව විමසු අවස්ථාවේ රංගේ බණ්ඩාර අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසීය.
මේ අතර සඳුදා (පෙබරවාරි 26) බීබීසී සිංහල සේවය සමග විශේෂ ෆේස්බුක් සාකච්ඡාවකට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මන්ත්‍රීවරයා කියා සිටියේ අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් සිය පක්ෂය එම යෝජනාවට සහාය දෙන බවය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
ඉරිදා අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කළ ප්‍රකාශයට අනුව, එක්සත් ජාතික පක්ෂය තුළ යළිත් නායකත්ව අර්බුදයක් හටගනු ඇති බවට අදහස් පළවිය.
"කොමඩි නාට්‍යයක් තමයි, ආණ්ඩුව නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒකෙ පළවෙනි කොටස තමයි අද 'ප්ලේ' කළේ. දෙවැනි කොටස ඊළඟ දවසේ 'ප්ලේ' කරයි. හැබැයි ජනතාව මේකට හිනාවෙයි ද? අඬයි ද? ගල් ගහයි ද? කියන්න දන්නේ නැහැ," වසන්ත සේනානායක රාජ්‍ය ඇමතිවරයා සිය ප්‍රතිචාරය පළ කරන ලද්දේ එවැනි වචන උපයෝගී කර ගනිමිනි.
ජනතාව බලාපොරොත්තු වූ වෙනස කිසිසේත්ම සිදු නොවූ බව පවසන රාජ්‍ය ඇමති වසන්ත සේනානායක "ඒ වෙනස හොඳින් හෝ නරකින් සිද්ධ වේවි," යයිද කියා සිටියේය.
ඔහු එම ප්‍රකාශය කළේ 'අගමැතිවරයා පදවියෙන් ඉවත් කළ යුතුදැයි' මාධ්‍යවේදියෙකු විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ අතර සඳුදා සවස පැවති මාධ්‍ය හමුවේදී පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ දැඩි ලෙස විවේචනය කළ අතර "නායකත්වය වෙනස් නොකර වෙන කිසිදු සංශෝධනය වැඩක් නැහැ," යනුවෙන් අවධාරණය කළේය.
"අපිට අනුකම්පා විරහිතව සිදුවෙනව හෙට - අනිද්දා විශ්වාස භංගයක් ගේන්න. ඒකෙ වැඩකටයුතු වලට නායකත්වය ගන්න එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරු ගණනාවක් සුදානම්," යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගැන විවිධ අදහස් පළකරන රජයේ ඇමතිවරුන් එලෙස අදහස් දක්වන්නේ 'තමන් සිතූ අමාත්‍යාංශය' නොලැබීම හේතුවෙන් බව කියා සිටියේය.
"ඇමැතිවරුන්ට අවශ්‍ය විදිහට කැබිනට් සංශෝධන සිදු කරන්න බැහැ. ජනතාව සමග ඉදිරියට යා යුතුයි," යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
පසුගිය පුවත්:










