ට්‍රම්ප්ගේ පාලනය යටතේ නීති විරෝධී ලෙස කොටස් වෙළෙඳාම සිදුව ඇති බවට සැකයක්

US President Donald Trump arrives for a prime-time address to the nation in the Cross Hall of the White House in Washington, DC, US, on Wednesday, 1 April, 2026.

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Image

කියවීමේ කාලය: මිනිත්තු 7

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය පුරාවට ම ඔහු වෙළෙඳපොළට බලපෑ හැකි විවිධ නිවේදන නිකුත් කිරීමටත් පෙර සිට ම වෙළෙඳුන් ඒවා වෙනුවෙන් ඩොලර් මිලියන ගණනින් ඔට්ටු ඇල්ලීම නිරන්තරයෙන් දක්නට ලැබෙන දෙයක් බවට පත්ව තිබේ.

ඒ අනුව, බීබීසීය මූල්‍ය වෙළෙඳපොළ කිහිපයක ම වෙළෙඳ කටයුතු සිදුව ඇති පරිමාණය සම්බන්ධ දත්ත පරීක්ෂා කළ අතර එය වෙළෙඳපොළට බලපෑම් කළ ජනාධිපතිවරයාගේ වැදගත් ප්‍රකාශ සමග සංසන්දනය කළේ ය.

එහිදී අනාවරණය වූයේ, ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය සටහනක් තැබීමට හෝ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමට පැය කිහිපයකට පෙර හෝ ඇතැම්විට මිනිත්තු කිහිපයකට පෙර ඒවායේ වෙළෙඳ කටයුතු ඉහළ යාමේ ඒකාකාරී රටාවක් නිරීක්ෂණය වන බව ය.

මෙය සාමාන්‍ය ජනතාවට ලබා ගත නොහැකි අභ්‍යන්තර තොරතුරු නීති විරෝධී ලෙස ලබා ගෙන සිදුවන කොටස් වෙළෙඳාමේ ලක්ෂණ ඉස්මතු කරන බව විශ්ලේෂකයින් කිහිප දෙනෙක් පැවසූහ.

එසේ වුව ද තවත් පිරිසක් පවසන්නේ, තත්ත්වය වඩාත් සංකීර්ණ බව සහ ජනාධිපතිවරයා කුමක් කරයි ද යන්න අනුමාන කිරීමේදී ඇතැම් වෙළෙඳුන් දක්ෂයින් වී ඇති බවයි.

මේ, එයින් වඩාත් කැපී පෙනෙන උදාහරණ 5කි.

2026 මාර්තු 9: 'යුද්ධය ගොඩක් දුරට සම්පූර්ණයෙන් ම වගේ අවසන්'

විශාලතම වෙනස්කම් කිහිපයක් සිදුව ඇත්තේ, ආනාගත තෙල් වෙළෙඳාම්වල ය.

ඉරානය සමග ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධය ආරම්භ වී දින නවයක් ගත වීමෙන් අනතුරුව ට්‍රම්ප් CBS පුවත් සේවය සමග දුරකතනය ඔස්සේ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ගැටුම "ගොඩක් දුරට සම්පූර්ණයෙන් ම වගේ අවසන්," යනුවෙනි.

  • 18:29 GMT: තෙල් සඳහා ඔට්ටු ඇල්ලීම ඉහළ යාම
  • 19:16 GMT: යුද්ධය අවසන් වීමට ආසන්න බව ට්‍රම්ප් පවසයි
  • 19:17 GMT: තෙල් මිල සියයට 25 කින් පහළ යයි

CBS පුවත් සේවයේ මෙම සම්මුඛ සාකච්ඡාව පිළිබඳව මහජනතාව පළමුවරට දැනගත්තේ නැගෙනහිර වේලාවෙන් 15:16 (19:16 GMT) එම වාර්තාකරු ඒ පිළිබඳව Xහි පළ කළ අවස්ථාවේදී ය.

ගැටුම බලාපොරොත්තු වූවාට වඩා බොහෝ ඉක්මනින් අවසන් විය හැකි බවට වන මෙම පුවතට තෙල් වෙළෙන්දන් ප්‍රතිචාර දැක්වූයේ තෙල් අළෙවි කිරීමෙන් වන අතර ඒත් සමග තෙල් මිල සියයට 25කින් පමණ පහළ ගියේ ය.

කෙසේ වෙතත්, වෙළෙඳපොළ දත්තවලින් පෙනී යන්නේ CBS වාර්තාකරුගේ සටහනට මිනිත්තු 47කට පෙර GMT 18:29ට තෙල් මිල පහත වැටීම මත ඔට්ටු ඇල්ලීමේ විශාල වැඩිවීමක් ඇති බවයි.

මෙම ඔට්ටු ඇල්ලීම් සිදුකළ වෙළෙඳුන් තෙල් මිලෙහි සිදු වූ මෙම වෙනස මගින් ඩොලර් මිලියන ගණනක් උපයා ගන්නට ඇත.

2026 මාර්තු 23: 'ගැටුමට පූර්ණ විසඳුමක්'

ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන "විනාශ කරන" බවට තර්ජනය කිරීමෙන් දින දෙකකට පසු එනම් මාර්තු 23 වන දින, ට්‍රම්ප් Truth Socialහි සටහනක් පළ කරමින් පැවසුවේ, ගැටුම සඳහා "පූර්ණ විසඳුමක්" කර ළඟා වීම සම්බන්ධයෙන් වොෂින්ටනය ටෙහෙරානය සමග "ඉතා හොඳ සහ ඵලදායී සාකච්ඡා" පවත්වා ඇති බවයි.

එය රාජ්‍ය තාන්ත්‍රික නිරීක්ෂකයින්ට සහ වෙළෙඳුන්ට විශාල පුදුමයක් විය.

  • 10:48-10:50 GMT: තෙල් සඳහා ඔට්ටු තැබීම් ඉහළ යයි
  • 1:04 GMT: ට්‍රම්ප් සතුරුකම් සඳහා "සම්පූර්ණ විසඳුම" පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේය
  • 11:05 GMT: තෙල් මිල 11% කින් පහත වැටෙයි

එසැණින් කොටස් වෙළෙඳපොළ මිල ගණන් ඉහළ ගිය අතර, ඉහළ යමින් පැවති ඇමෙරිකානු තෙල් මිල තියුණු ලෙස පහත වැටිණි.

එම අවස්ථාවේදී බීබීසී පුවත් වාර්තා කළ පරිදි ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය සටහනට මිනිත්තු 14කට පෙර, එක්සත් ජනපද තෙල් මිල මත අසාමාන්‍ය ලෙස ඉහළ ඔට්ටු ඇල්ලීම් සංඛ්‍යාවක් සිදුවිය.

අනෙක් ප්‍රධාන තෙල් වෙළෙඳපොළ වන බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් මිල දී ගැනීමේ කොන්ත්‍රාත්තු සඳහා ද වෙළෙඳුන් තුළ ඒ හා සමාන රටාවක් දක්නට ලැබිණි.

මෙය "නිසැකව ම, අසාමාන්‍ය" ලෙස පෙනෙන්නට තිබුණා," තෙල් වෙළෙඳාම පිළිබඳ විශ්ලේෂකයෙකු බීබීසී පුවත් වෙත එම අවස්ථාවේදී පැවසුවේ ය.

2025 අප්‍රේල් 9: 'විමුක්ති දින' විරාමය

මැද පෙරදිග යුද්ධයෙන් පමණක් නොව කුතුහලයට හේතු වී තිබෙන වෙළෙඳ ක්‍රියාකාරකම් පිළිබඳ තවත් උදාහරණ ද තිබේ.

පසුගිය වසරේ අප්‍රේල් 2 වන දින, ට්‍රම්ප් 'විමුක්ති දිනය' ලෙස හඳුන්වමින් ලෝකයේ සෑම රටකින් ම පාහේ ආනයනය කරන භාණ්ඩ සඳහා පුළුල් තීරු බදු මාලාවක් පැනවීය.

ලොව පුරා කොටස් වෙළෙඳපොළවල් ශීඝ්‍රයෙන් පහත වැටිණි.

නමුත් ඉන් සතියකට පසු ව චීනය හැර අනෙකුත් සියලු රටවලට පනවා තිබූ බදු සඳහා දින 90ක "විරාමයක්" ප්‍රකාශයට පත් කළ විට කොටස් වෙළෙඳපොළ මිල ගණන් යළි ඉහළ ගියේ ය.

S&P 500 දර්ශකය 9.5%කින් ඉහළ ගිය අතර එය දෙවන ලෝක යුද්ධයෙන් පසු එම දර්ශකය දිනක් තුළ ලැබූ විශාලතම ලාභවලින් එකකි.

  • BST 18:00: කොටස් වෙළෙඳපොළ ඉහළ යාම පිළිබඳව වෙළෙන්දන් විශාල ඔට්ටු ඇල්ලීම අරඹයි
  • BST 18:18: ට්‍රම්ප් තීරුබදු විරාමය නිවේදනය කරයි
  • BST 18:19: කොටස් වෙළෙඳපොළ මිල ගණන් ඓතිහාසික ලෙස ඉහළ යාම ඇරඹෙයි

නැවතත්, මෙම සිදුවීම්වලට පෙර අසාමාන්‍ය රටාවක් දක්නට ලැබුණු අතර, S&P 500 නිරීක්ෂණය කරන එක් අරමුදලක නිවේදනයට පෙර අසාමාන්‍ය ලෙස ඉහළ ඔට්ටු සංඛ්‍යාවක් සිදුව තිබිණි.

බ්‍රිතාන්‍ය සම්මත වේලාවෙන් පස්වරු 6න් පසු ගනුදෙනු මිනිත්තුවකට 10,000 ඉක්මවා ගියේ ය. එදින මුල්භාගයේදී එම සංඛ්‍යාව පැවතුණේ සිය ගණනක් ලෙස ය.

දින හතක් අඛණ්ඩව පාඩු ලැබුව ද, ඇතැම් වෙළෙන්දෝ එදින වැඩිවන කොටස් වෙළඳපොළ සඳහා ඩොලර් මිලියන 2කට වඩා ඔට්ටු ඇල්ලූහ. දැවැන්ත මිල වැඩිවීම හමුවේ ඔවුන්ට ඩොලර් මිලියන 20කට ආසන්න ලාභයක් උපයා ගත හැකිව තිබිණි.

එම සතිය අගදී ඇමෙරිකානු සෙනෙට් සභාවේ ජ්‍යෙෂ්ඨ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් පිරිසක් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරමින් මූල්‍ය නියාමන ආයතනයෙන් ඉල්ලා සිටියේ, ජනාධිපතිවරයාගේ නිවේදන මගින් "අභ්‍යන්තර පාලන තන්ත්‍රයේ කණ්ඩායම් සහ මිතුරන් ඇමෙරිකානු මහජන වියදමින් පොහොසත් කර ඇත් ද' යන්න පිළිබඳව විමර්ශනය කරන ලෙසයි."

මෙම චෝදනා පිළිබඳව විමර්ශනය කළේ දැයි බීබීසීය විමසූ අවස්ථාවේදී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් ඒ පිළිබඳ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය.

මෙම වාර්තාවේ විශ්ලේෂණය කර ඇති පරිදි කිසියම් හෝ අසාමාන්‍ය වෙළෙඳ ක්‍රියාකාරකම් පිළිබඳව අදහස් සිදුව ඇත්දැයි සදහස් දක්වන ලෙස බීබීසීය කළ ඉල්ලීමකට ධවල මන්දිරය ද ප්‍රතිචාර දැක්වූයේ නැත.

2026 ජනවාරි 3: මදුරෝ අල්ලා ගැනීම

Venezuela's President Nicolas Maduro holds Simon Bolivar's sword as he addresses members of the armed forces

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනවාරි අග වන විට නිකොලස් මධුරෝ ධූරයෙන් ඉවත් වන බවට ඔට්ටු ඇල්ලීමෙන් පරිශීලකයෙකු ඩොලර් 436,000ක් දිනා ගත්තේ ය
  • 2025 දෙසැම්බර්: Burdensome-Mix ගිණුම නිර්මාණය කළේ ය
  • 2026 ජනවාරි 2: මදුරෝ ධූරයෙන් නෙරපා හැරීම මත ගිණුම ඩොලර් 32,000 ක් ඔට්ටු තබයි
  • 26 ජනවාරි 3: මදුරෝ අල්ලා ගනු ලැබූ අතර Burdensome-Mix ඩොලර් 436,000 ක් දිනා ගනී

මෑතකාලීනව අන්තර්ජාලය හරහා සිදුකරන අනාවැකි පළ කිරීමේ වෙළෙඳපොළ වර්ධනය කෙරෙහි නිරීක්ෂකයින්ගේ අවධානය යොමුව ඇත.

Polymarket සහ Kalshi වැනි බ්ලොක්චේන් (blockchain) තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන වේදිකා මගින් පරිශීලකයින්ට කාලගුණයේ සිට බේස්බෝල් සහ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය දක්වා ඕනෑ ම දෙයක් පිළිබඳව අනුමාන කිරීමට අවස්ථාව ලබා දෙයි.

ජනාධිපති ට්‍රම්ප්ගේ පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්, Polymarketහි ආයෝජකයෙකු වන අතර එහි උපදේශක මණ්ඩලයේ අසුනක් ද හොබවයි. ඔහු Kalshiහි උපායමාර්ගික උපදේශකයෙකු ලෙස ද කටයුතු කරන අතර අදහස් දැනගැනීම සඳහා බීබීසීය ඔහු සම්බන්ධ කර ගත්තේ ය.

2025 දෙසැම්බර් මාසයේදී, පරිශීලකයෙකු Polymarketහි Burdensome-Mix ලෙස හැඳින්වෙන ගිණුමක් නිර්මාණය කළේ ය. වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ 2026 ජනවාරි අග වන විට ධූරයෙන් ඉවත් වන බවට දෙසැම්බර් 30 වන දින එහි පළමු ඔට්ටුව තැබීය.

දෙසැම්බර් 30 සහ ජනවාරි 2 අතරදී Burdensome-Mix තම මතය වෙනුවෙන් ඩොලර් 32,500ක ඔට්ටු තැබිය.

එක්සත් ජනපද විශේෂ බළකාය විසින් මදුරෝ ග්‍රහණයට ගෙන ඊට පසු දින ඔහු ධූරයෙන් නෙරපා හැරි අවස්ථාවේ, Burdensome-Mix ඩොලර් 436,000ක් දිනුවේ ය.

ඉන් ටික කලකට පසුව ගිණුමේ නාමය වෙනස් කර තිබුණු අතර එතැන් සිට කිසිදු ඔට්ටුවක් තබා නොතිබිණි.

2026 පෙබරවාරි 28: ඉරානයට ප්‍රහාර එල්ල කිරීම

  • 2026 පෙබරවාරි: Polymarketහි ගිණුම් හයක් නිර්මාණය කෙරිණි
  • පෙබරවාරි 28: මෙම ගිණුම් එක්ව ඩොලර් මිලියන 1.2ක් ජයග්‍රහණය කළේ ය

බ්ලොක්චේන් විශ්ලේෂණ වෙබ් අඩවියක් වන Bubblemapsට අනුව, පෙබරවාරි මාසයේදී Polymarket තුළ ගිණුම් හයක් නිර්මාණය වී තිබිණි.

ඔවුන් සියලු දෙනා පෙබරවාරි 28 වන විට එක්සත් ජනපදයෙන් ඉරානයට ප්‍රහාරයක් එල්ල වන බවට ඔට්ටු අල්ලා තිබිණි. එදින මුල් පැය කිහිපයේදී ජනාධිපති ට්‍රම්ප් විසින් එම ප්‍රහාර පිළිබඳ තහවුරු කරන ලද විට, මෙම ගිණුම් එක්ව ඩොලර් මිලියන 1.2ක් උපයා ගත්තේ ය.

එම පරිශීලකයින් හය දෙනාගෙන් පස් දෙනෙකු එතැන් සිට කිසිදු ඔට්ටුවක් තබා නොමැති නමුත් ගිණුමක මෑත කාලීන ක්‍රියාකාරකමකින් පෙන්නුම් කෙරෙන්නේ, අප්‍රේල් 7 වන දින වන විට එනම් එදින වොෂින්ටනය සහ ටෙහෙරානය විසින් නිවේදනය කරන ලද එක්සත් ජනපද - ඉරාන සටන් විරාමයක් මත නිවැරදිව ඔට්ටු ඇල්ලීමෙන් එය ඩොලර් 163,000ක් උපයා ඇති බවයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

Polymarket බීබීසීය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ඔවුන් "වෙළෙඳපොළ අවංකභාවය සහ සාධාරණත්වය සඳහා ඉහළ ම ප්‍රමිතීන් සකස් කරන, පවත්වාගෙන යන සහ බලාත්මක කරන" බව සහ ඒ සඳහා නියාමකයින් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග "ක්‍රියාකාරීව" කටයුතු කරන බවයි.

මෙම වසරේ මාර්තු මාසයේදී Polymarket සහ Kalshi යන දෙපාර්ශවය ම අභ්‍යන්තර තොරතුරු නීතිවිරෝධී ලෙස භාවිතයෙන් කෙරෙන ගනුදෙනු මැඩපැවැත්වීම සඳහා නව නීතිරීති පද්ධතිය සැලැස්මක් ඉදිරිපත් කළේ ය.

පුරෝකථන වෙළෙඳපොළවල් Commodity Futures Trading Commissionහි (CFTC) නියාමනයට යටත් වේ.

බීබීසීය කළ විමසීමට එම කොමිසම ප්‍රතිචාර නොදැක්වූ නමුත්, එහි සභාපතිවරයා මෑතකදී කොංග්‍රස් කමිටුවකට පැවසුවේ, තම සංවිධානය වංචා සහ අභ්‍යන්තර තොරතුරු බාහිර පාර්ශ්ව වෙත ලබා දීමට "කිසිදු ආකාරයකින් ඉඩ නොදෙන" බවයි.

පසුගිය මාසයේදී ධවල මන්දිරය සිය කාර්ය මණ්ඩලය වෙත පුරෝකථන වෙළෙඳපොළවල ඔට්ටු තැබීම සඳහා අභ්‍යන්තර රහස්‍ය තොරතුරු භාවිත නොකරන ලෙස අනතුරු අඟවමින් අභ්‍යන්තර ඊමේල් පණිවිඩයක් යොමුකර ඇති බව ද හෙළි වී ඇත.

"පරිපාලන නිලධාරීන් එවැනි ක්‍රියාකාරකම්වල නියැළී සිටින බවට සාක්ෂි නොමැතිව සිදු කරන ඕනෑ ම ඇඟවීමක් පදනම් විරහිත සහ වගකීම් විරහිත වාර්තාකරණයකි," යනුවෙන් එම අවස්ථාවේදී මාධ්‍ය ප්‍රකාශක ඩේවිස් ඉන්ගල් බීබීසී පුවත් සේවයට පැවසීය.

සනාථ කිරීම අපහසුය

1933 වසරේදී සුරැකුම්පත් පනත සම්මත වූ අවස්ථාවේ පටන් ඇමෙරිකානුවන් බහුතරයකට අභ්‍යන්තර තොරතුරු මත පදනම්ව වෙළෙඳ කටයුතු කිරීම නීති විරෝධී වේ.

2012දී එය එක්සත් ජනපද රජයේ නිලධාරීන් ආවරණය වන පරිදි පුළුල් කරන ලද නමුත් මේ දක්වා කිසිවෙකුට මෙම නීතිය යටතේ නඩු පවරා නොමැත.

ESSEC ව්‍යාපාරික පාසලේ මූල්‍ය නියාමන නීතිය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය පෝල් ඕඩින් පවසන්නේ මෙම නීති බලාත්මක කිරීම අපහසු බවයි.

"තොරතුරුවල මූලාශ්‍රය කවුද කියන එක හඳුනා ගැනීමට නොහැකි නම්, මූල්‍ය බලධාරීන් නඩු පැවරීමක් සිදු කරන්නේ නැහැ," ඕඩින් පවසයි.

බීබීසීය විසින් සම්බන්ධ කර ගන්නා ලද ඇමෙරිකානු මූල්‍ය බලධාරීන් කිසිවෙක් අභ්‍යන්තර තොරතුරු බාහිර පාර්ශව වෙත ලබා දීම සම්බන්ධයෙන් එල්ල වන එකදු චෝදනාවක් හෝ පිළිනොගත්හ.

"ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කිරීමට යන දේ දැනටමත් යමෙකු දැන සිටි බව තදින් ම ඇඟවෙන මූල්‍ය වත්කමක විශාල වෙළෙඳ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්න පුළුවන්," ඕඩින් පවසයි.

"එහෙත් කිසිවෙකුට එරෙහිව නඩු පැවරීමක් සිදු නොවීමට ප්‍රබල ඉඩක් තියෙනවා," ඔහු තවදුරටත් පවසයි.