අලුතින් එන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ගැන ඔබ දැනුවත් ද?

A close-up of a positive Asian woman using her smartphone while stopped at traffic in the city.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

මෙතෙක් නිකුත් කළ ප්ලාස්ටික් මෝටර් රථ රක්ෂණ කාඩ් පත වෙනුවට මැයි 1 වන දා සිට ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් පමණක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මෝටර් රථ රක්ෂණ ව්‍යාපාරයේ නියැළී සිටින සියලු ම බලපත්‍රලාභී රක්ෂණකරුවන් වෙත දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමග එක්ව ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේ ඉකුත් ජනවාරි මස 7 වන දා ය.

ඒ අනුව, 272 වන කොමිෂන් සභා රැස්වීමේදී, ජාතික ඩිජිටල්කරණයේ දියුණුවට සමගාමීව මෝටර් රථ රක්ෂණය නවීකරණය කිරීම සහ මහජන ආරක්ෂාව ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව අප්‍රේල් 6 වන දින රක්ෂණකරුවන් වෙත නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එහි තවදුරටත් සඳහන් කර ඇත්තේ, මෝටර් රථ රක්ෂණ ව්‍යාපාරයේ නියැළී සිටින කිසිදු බලපත්‍රලාභී රක්ෂණකරුවෙකු 2026 මැයි 1 වන දින සිට ප්ලාස්ටික් කාඩ්පත් නිකුත් නොකළ යුතු බව ය.

ඒ අනුව, බීබීසී සිංහල මේ පිළිබඳව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් විමසීමක් කළේ ය.

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ලබා ගන්නේ කෙසේ ද?

දැනටමත් රක්ෂණ ඔප්පු හිමියෙකුට නව ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ලබා ගත හැක්කේ එම ඔප්පුවේ කාල සීමාව කල් ඉකුත් වූ පසු නැවත අලුත් කිරීමේදී ය.

ඔවුන්ට ඒ දක්වා ගැටලුවකින් තොරව දැනට පවතින ප්ලාස්ටික් කාඩ් පත භාවිත කළ හැකි බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව බීබීසී සිංහල වෙත පැවසීය.

නමුත්, මුල් වරට තම මෝටර් රථය රක්ෂණය කරන්නෙකුට මැයි 1 වන දා සිට මෙම නව ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පතේ ස්වභාවය කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ, මෙම නව ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත තම ස්මාට් ජංගම දුරකතනයේ තබා ගත හැකි බව ය.

ඒ, දැනට පවතින කාඩ් පතේ ම ඩිජිටල් අනුවාදයක් (e-version) ලෙස ය.

අවශ්‍ය නම් එහි මුද්‍රිත පිටපටත් ලබා ගැනීමට හැකියාව පවතින බව ද එහි නිලධාරිනියක් බීබීසී සිංහල වෙත පැවසුවා ය.

එමෙන් ම තම ජංගම දුරකතනයෙන් *1338# අංක අමතා එය ලබා ගත හැකි බව ද එම නිලධාරිනිය සඳහන් කළා ය.

ස්මාට් ජංගම දුරකතනයක් නොමැති වුව ද ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත SMS පණිවිඩයක් මගින් ගාස්තුවලින් තොරව තම ජංගම දුරකතනයට ලබා ගැනීමේ පහසුකම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී ඇත.

එහිදී තම වාහන අංකය හෝ රක්ෂණ ඔප්පු අංකය සඳහන් කර එය 1338 වෙත යොමු කිරීමෙන් තම රක්ෂණය සක්‍රීය (active) මට්ටමේ පවතින්නේ ද යන්න පිළිබඳ SMS පණිවිඩයක් එම මොහොතේ ම ලබා ගත හැකි බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පැවසීය.

ඊට අමතවර 1338 අංකය අමතා දුරකතන ඇමතුමක් මාර්ගයෙන් ද එය ලබා ගත හැකි බව කොමිෂන් සභාව බීබීසී සිංහල වෙත සඳහන් කළේ ය.

ඒ අනුව, අවශ්‍යතාවක් උද්ගත වූ විට පොලිස් නිලධාරීන්ට මෙම ක්‍රම කිහිපය ඔස්සේ ඔවුන්ට තම රක්ෂණය පිළිබඳව දැනුවත් කළ හැකි බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පැවසීය.

එමෙන් ම පොලිස් නිලධාරීන්ට ද ඔවුන්ට ලබා දී ඇති ටැබ්ලට් මගින් රියැදුරන් වලංගු රක්ෂණාවරණයක් සහිතව රිය ධාවනය කරන්නේ ද යන්න පරීක්ෂා කළ හැකි බව කොමිෂන් සභාවේ නිලධාරිනිය බීබීසී සිංහල වෙත පැවසුවා ය.

ඒ අනුව, මෙම නව ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත අප්‍රේල් 21 වන දින නිල වශයෙන් මහ ජනතාවට හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පැවසීය.

පොලිස් නිලධාරීන්ට ටැබ්ලට් 500ක්

මෙම ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ජනවාරි 7 වැනිදා පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.

එහිදී, වැඩිදියුණු කරන ලද ශ්‍රී ලංකා පොලිස් මාර්ග අනතුරු දත්ත කළමනාකරණ පද්ධතියට කාර්යක්ෂමව ප්‍රවේශ වීමට සහ නව ඩිජිටල් රක්ෂණ විද්‍යුත් කාඩ්පත සත්‍යාපනය කිරීමට පහසුකම් සැලසීමට හැකි වන පරිදි, බස්නාහිර පළාතේ රථවාහන පොලිස් නිලධාරීන් වෙත ටැබ්ලට් 500ක් ලබා දීම සිදුවිය.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ, මෙම නව ඩිජිටල් රක්ෂණ විද්‍යුත් කාඩ්පත සත්‍යාපනය කිරීමේ කාර්යය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු ද ඉදිරියේදී සිදුවන බව ය.

වාසි-අවාසි මොනවා ද?

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කරන බවට පුවත සැලවීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ මත පළ වන්නට විය.

ඇතැමෙකු එය විවේචනය කරමින් ප්‍රශ්න කර තිබුණේ, එය කොතෙක් දුරට ප්‍රායෝගික ද යන්න ය. තවත් අයෙකු මෙම පියවර අගය කර තිබිණි.

එවැනි පසුබිමක, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පෙන්වා දුන්නේ, වලංගු නොවන රක්ෂණ කාඩ්පත් භාවිතය මෙමගින් වැළකෙන බව ය.

"වාරිකයෙන් කොටසක් ගෙව්වා ම කාඩ් එක නිකුත් කරනවනේ. උදාහරණයක් විදිහට සමහර අය 25%ක් ගෙවලා ඉතුරු 75% ගෙවන්නේ නැහැ."

"ඒ වෙලාවට රක්ෂණාවරණය ස්වයංක්‍රීම අක්‍රිය වුණත් කාඩ් එක ඉතුරු වෙනවා එයාලාගේ අතේ. ඒ විදිහට එයාලා අවුරුද්ද ම පාවිච්චි කරනවා වලංගු නොවන කාඩ් පතක්," එහි නිලධාරියෙක් බීබීසී සිංහල වෙත පැහැදිලි කළේ ය.

එවැනි අවස්ථාවලදී රක්ෂණාවරණය තවදුරටත් සක්‍රීය තත්ත්වයේ පවතින්නේ ද යන්න පරීක්ෂා කර ගැනීමට රක්ෂණ සමාගමට හැර වෙනත් පාර්ශවයකට [පොලිසිය] නොහැකි බව එම නිලධාරියා සඳහන් කළේ ය.

එලෙස තමන් වෙත ලැබුණු පැමිණිලි රැසකට මෙම නව ක්‍රමවේදය පිළිතුරක් බව ඔහු පැවසීය.

ඊට අමතරව ප්ලාස්ටික් කාඩ් මුද්‍රණය සඳහා වැය වන පිරිවැය ද මෙමගින් ඉතිරි වන බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පැවසීය.

"පරිසරයට ප්ලාස්ටික්වලින් වෙන හානිය අඩු කරන එකත් මේකේ අරමුණක්," නිලධාරියා සඳහන් කළේ ය.

රක්ෂණ ඔප්පු හිමියන්ට ද මෙමගින් වාසි සැලසෙන බව ඔහු පෙන්වා දුන්නේ ය.

"ප්ලාස්ටික් කාඩ් එක නැති වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් නැති වෙන්නේ නැහැ. SMS එකකිත් තත්පර තුනක්වත් යන්නේ නැහැ, වෙරිෆිකේෂන් එක ගෙන්න ගන්න," ඔහු වැඩිදුරටත් පැවසීය.