විශ්වාස භංගයට විරුද්ධයි, ශ්‍රීලනිප තීරණයක් නෑ - ඇමති දුමින්ද

අමාත්‍ය දුමින්ද දිසානායක

ඡායාරූප මූලාශ්‍රය, duminda dissanayake/facebook

ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කිරීමට සැරසෙන විශ්වාස භංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

එය තමන්ගේ පෞද්ගලික මතය විනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව අවධාරණය කරන ඇමතිවරයා, අදාළ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයකට එළැඹ නැති බවත් බීබීසී සිංහල සේවයට පැවසීය.

"නිල වශයෙන් පක්ෂය තීන්දුවක් අරගෙනත් නෑ. ඒවගේම විශ්වාස භංගයට මුල් වෙලා කටයුතු කරන කණ්ඩායම නිල වශයෙන් අපට ආරාධනා කිරීමක්, සාකච්ඡා කිරීමක් හෝ වෙනත් කිසිම දෙයක් කරලා නැහැ," කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියි.

පෞද්ගලිකව තමන් එම යෝජනාවට විරුද්ධ වන්නේ කුමක් නිසාද යන කරුණත් ශ්‍රීලනිප මහ ලේකම්වරයා විස්තර කළේය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

"මේ ආණ්ඩුවට පසුගිය මැතිවරණයෙන් කිසියම් උත්තරයක් ලැබිල තියෙනව නම්, ඒ උත්තරේට දුමින්දත් වග කියන්න ඕන, රනිල් වික්‍රමසිංහ මහත්තයත් වග කියන්න ඕන, ඒ වගේම ජනාධිපතිවරයා ඇතුලු මේ පක්ෂ දෙකම වග කියන්න ඕනේ" ඔහු පෙන්වා දෙයි.

"තනි පුද්ගලයෙකුට ඒ වගකීම භාරගන්න පුළුවන් කමක් නෑ."

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන සතියේ ගෙන ඒමට නියමිත බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මේ අතර පවසයි.

පසුගිය සතියේ ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අදාළ යෝජනාව මේ සතියේ ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

"අගමැතිට ළඟදීම යන්න වෙනවා"
ඡායාරූප ශීර්ෂ වැකිය, "අගමැතිට ළඟදීම යන්න වෙනවා" - මහින්ද

"අගමැතිට ළඟදීම යන්න වෙනවා" යයි එහිදී සඳහන් කළ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, "අගමැති යවන්න, එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරු කටයුතු කරයි වගෙයි පෙනෙන්නේ.මට කරන්න දෙයක් නැති වෙයි," හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එජාප මතය

එහෙත් බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේ, පක්ෂයේ කිසිදු බෙදීමක් නොමැති අතර, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එක්සත්ව අගමැතිවරයාට සහාය පළ කරන බවය.

ඒකාබද්ධ විපක්ෂය එය ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාවක් ලෙස බැවින් කිසියම් ඇමතිවරයෙක් එයට සහාය පළ කරන්නේ නම් ඔහුට පදවියෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බව ද විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා වැඩිදුරටත් පැවසීය.

පසුගියදා කරන ලද කැබිනට් සංශෝධනය "කොමඩියක්" ලෙසින් විග්‍රහ කළ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ද සඳහන් කළේ විශ්වාස භංග යෝජනාවට සහාය දෙන්නේද, නොදෙන්නේද යන්න තීරණය කිරීමට සිදුවන්නේ චෝදනා සලකා බැලීමෙන් අනතුරුව බවය.

මෑතදී අගමැති රනිල් වික්‍රමසිංහ දැඩි විවේචනයට ලක් කළ පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා විදේශගතව සිටින බව දැනගැනීමට ලැබිණ.

ශ්‍රීලනිප ඇමතිවරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ටී.බී ඒකනායක අමාත්‍යවරයා විශ්වාස භංග යෝජනාවට පක්ෂය අත්සන් තබා ඇති බව මේ අතර ජනමාධ්‍ය වාර්තා කරයි.

"මේ ආණ්ඩුවට පසුගිය මැතිවරණයෙන් කිසියම් උත්තරයක් ලැබිල තියෙනව නම්, ඒ උත්තරේට දුමින්දත් වග කියන්න ඕන, රනිල් වික්‍රමසිංහ මහත්තයත් වග කියන්න ඕන, ඒ වගේම ජනාධිපතිවරයා ඇතුලු මේ පක්ෂ දෙකම වග කියන්න ඕනේ"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මේ ආණ්ඩුවට පසුගිය මැතිවරණයෙන් කිසියම් උත්තරයක් ලැබිල තියෙනව නම්, ඒ උත්තරේට දුමින්දත් වග කියන්න ඕන, රනිල් වික්‍රමසිංහ මහත්තයත් වග කියන්න ඕන, ඒ වගේම ජනාධිපතිවරයා ඇතුලු මේ පක්ෂ දෙකම වග කියන්න ඕනේ"

ඒ පිළිබඳ තමන් ද දුටුවේ මාධ්‍ය මගින් පමණක් බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි දුමින්ද දිසානායක අමාත්‍යවරයා, විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නය දැඩි විවේචනයට ලක් කළේය.

විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහට පදවියෙන් ඉල්ලා අස්වන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කළේ අගමැතිවරයා කෙරෙහි විශ්වාසය බිඳ වැටී ඇති නිසා නොවේ දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා කියා සිටියේ එවැනි ඉල්ලීමක් කළේද යන්න ගැන නිල වශයෙන් කිසිවක් කිව නොහැකි බවය.

"ඒ කෙසේ වෙතත්, මේ මැතිවරණ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයට, ඒ වගේම ආණ්ඩුවට දේශපාලන වශයෙන් තේරුම් ගත යුතු කාරණා සහ වෙනස් කළ යුතු කාරණා වෙනම තියෙනව," ඔහු පැවසීය.

'ආණ්ඩුව විනාශ කිරීමේ අරමුණක්'

එබැවින් අදාළ විශ්වාස භංග යෝජනාව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර "විරසකයක් ඇති කිරීමේ" සහ "ජාතික ආණ්ඩුව විනාශ කිරීමේ" අරමුණින් ඒකාබද්ධ විපක්ෂය ගෙන යන දේශපාලන උපාය මාර්ගයක් බව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ විග්‍රහය වී තිබේ.

"ඔවුන් බලාපොරොත්තු වනවා - එෆ්සීඅයිඩී එක අයින් කරගන්න, ඒවගේම ඒගොල්ලන්ට තියන නඩු හබ ටික අයින් කරගන්න, ඒවගේම සුවිශේෂී අධිකරණයක් පත්කරන වැඩේට විරුද්ධ වෙන්න. ඉතින් බොහොම පැහැදිලිව මේ සියල්ල යට තියෙන්නේ තමන්ට විරුද්ධව තියන චෝදනාවලින් කොහොමද ගැලවෙන්නේ කියන කාරණාව."

ජනපති සහ අගමැති

ඡායාරූප මූලාශ්‍රය, News.lk

එබැවින් 2015 ජනවාරි 08 ජනවරමට පිටු නොපෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු සියලු දෙනාට "වගකීමක් තිබෙන" බව ද අමාත්‍ය දුමින්ද දිසානායක අවධාරණය කළේය.

"මේ රටේ අති බහුතරයක් ජනතාව මේ මැතිවරණයේදී ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්නේ, හොරු ගැන කතා කළාට හොරු ඇල්ලුවේ නැති නිසා. හොරුන්ට ජයගන්න දෙන්නේ නැති ඕනෑම දෙයක් කිරීමට මේ ආණ්ඩුවට විශාල වගකීමක් තියෙනව."

පක්ෂයක් ලෙසින් තීන්දුවක් ගෙන නැතත්, සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර සහ එස්.බී දිසානායක අමාත්‍යවරුන් මෙන් තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකවරයා වැනි පිරිසක් විශ්වාස භංග යෝජනාවට සහාය දිය යුතුය යන ස්ථාවරයක සිටින බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව විමසූ අවස්ථාවේ ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා කියා සිටියේ ඔවුන් සියලු දෙනාම ජනවාරි 08 ජනපතිවරණයේදී "හොරකම, දූෂණය, වංචාවට විරුද්ධ නොවූවන්" බැවින් තමන් ඒ පිළිබඳව "පුදුම නොවන" බවය.

"එතකොට හැබෑවටම ජනතාව නියෝජනය කරපු අයගේ මතය ඕක නෙවෙයි. ඉතින් මත දෙකක් මෙතන තියෙනව."ඇමතිවරයා කියා සිටියි.

බොහෝ දූෂිතයන්ට එරෙහිව අධිකරණ විමර්ශන ආරම්භ වී තිබෙන මොහොතක් ඔවුන්ගේ "ගැලවීම වෙනුවෙන්" කෙරෙන මෙවැනි උත්සාහයකට කිසිසේත් සහාය දිය නොහැකි බව අමාත්‍ය දුමින්ද දිසානායක අවධාරණය කළේය.

තවත් වාර්තා: