පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු ජනපති මෛත්‍රීගේ මීළඟ පියවර?

ජනපතිවරයා ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙමින්

ඡායාරූප මූලාශ්‍රය, Maithripala Sirisena/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය ඡන්දය භාවිතා කිරීම සඳහා ජනපතිවරයා ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාව

සෙනසුරාදා (පෙබරවාරි 10) පැවති පළාත් පාලන මැතිවරණයේදී යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකට අත් වූ අන්ත පරාජය පිළිබඳව විවිධ පාර්ශව ප්‍රතිචාරය පළකරමින් සිටින නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තවමත් කිසිවක් ප්‍රසිද්ධියේ සඳහන් කොට නැත.

ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව ඉරිදා (පෙබරවාරි 11) සවස ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ද පැවති නමුත් ඒ පිළිබඳ විස්තර ද මෙතෙක් අනාවරණය වී නැත.

ජනාධිපතිවරයා එවැනි නිහඬ බවක් දක්වන්නේ ඇයි? රටේ රාජ්‍ය නායකයාගේ මීළඟ පියවර කුමක්ද?

බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව කළ විමසීමකදී ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක කියා සිටියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වනවිට මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව "ගැඹුරු ලෙස විශ්ලේෂණය කරමින්" සිටින බවය.

"නිහතමානීව" ජනමතය පිළිගෙන ඒ සඳහා ආණ්ඩුවේ අවශ්‍ය වෙනස්කම් සිදු කළ යුතුය යන්න ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබෙන බවත් ඔහු පැවසීය.

හිටපු ජනපතිවරයා ජයග්‍රහණයෙන් පසුව
ඡායාරූප ශීර්ෂ වැකිය, "ජනතාව එදා 08 වෙනිදා කරපු වැරැද්ද ගැන අද හරි මාර්ගයට ඇවිල්ල තියෙනව, අවබෝධ කරගෙන තියෙනව"

"කවුරු හරි ජනතාවගේ හෘද සාක්ෂියට නිගා දෙන, හෘද සාක්ෂියත් එක්ක සෙල්ලම් කරන රාජ්‍ය පාලන ක්‍රියාවක් සිදු වෙලා තියෙනව නම් එය වෙනස්විය යුතුයි," යනුවෙන් සඳහන් කළ ඔහු එම "දැඩි වෙනස සඳහා ජනාධිපතිතුමා සූදානම්ව සිටින" බවත් පැවසීය.

එම "දැඩි වෙනස" අගමැති පදවිය තරම් ඉහළ මට්ටමේ වෙනසක් දැයි විමසූ විට ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය. "නමුත් "ජනතාවත් ඉල්ලනවා මුහුණතෙහි වෙනසක්."

එහිදී ආණ්ඩුවේ වෙනසක්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් මෙන්ම පැරණි දූෂණ සහ අලුත් දූෂණ ද සොයමින් දූෂණයෙන් තොර සමාජයක් ඇතිකිරීමේ අවශ්‍යතාව ජනතාව ආණ්ඩුවට පෙන්වා දී ඇති බව ජනපති සම්බන්ධීකරණ නිලධාරියාගේ විග්‍රහය වී තිබේ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

(සෙනසුරාදා ඡන්දය භාවිත කළ අවස්ථාවෙන් පසුව ජනාධිපතිවරයා මෙතෙක් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නැත)

විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණය යහපාලන ආණ්ඩුවට ලබා දුන් 'Quit Notice' හෙවත් 'ඉවත් කිරීමේ දැන්වීමක්' ලෙසින් මුලින් බොහෝ දෙනා විග්‍රහ කළ මුත් පසුව එය 'රතු දැන්වීමක්' බව පැහැදිලිව දක්නට ලැබුන බව පවසන ඔහු, පොදු ජන පෙරමුණ ආයතන 241ක් ජයග්‍රහණය කළ නමුත් ඒ අතරින් බහුතර බලයක් හිමි වී තිබෙන්නේ ආයතන 160 ක පමණක් බව ද සඳහන් කළේය.

එමෙන්ම පොදු ජන පෙරමුණට ලැබී තිබෙන ඡන්ද ප්‍රතිශතය සලකා බැලූ විට " ජනමතය හැටියට නම් 2020ත් මහින්ද රාජපක්ෂ මහත්තයට තනි බලයක් පිහිටුවීමට හැකියාවක් නෑ කියල පේනව," යනුවෙන් ද නීතිඥ ශිරාල් ලක්තිලක වැඩිදුරටත් පැවසීය.

තවත් කියවන්න:

කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා ද ඉරිදා බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ ඡන්ද ප්‍රතිශතය සලකා බැලීමේදී "ජනවාරි 08 ජනවරම ශක්තිමත් වී ඇති" බවය.

එහෙත් බීබීසී සිංහල සේවය සමග ඉරිදා විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ එම අදහස "හීනයක්" ලෙසින් විග්‍රහ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වහාම මහ මැතිවරණයක් කැඳවන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

මේ අතර නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සඳුදා සවස පැවති සාකච්ඡාවේදී ජනපතිවරයා සහ අගමැතිවරයා අතර කිසිදු එකඟතාවක් ඇති නොවූ බව අවධාරණය කර තිබේ.