දේශපාලන අර්බුදය මැද පළාත් පාලන ආයතන අමතක වෙලාද?

මහින්ද දේශප්‍රිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පළාත් පාලන ආයතන 340ක් සඳහා පසුගිය පෙබරවාරි 10 වැනි දින පැවති මැතිවරණයෙන් පාලක සන්ධානයට බරපතල පරාජයක් අත්කර දෙමින් ආයතන බහුතරයක් ජයග්‍රහණය කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් පොදු ජන පෙරමුණ සමත්විය.

එහෙත් මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී සතියකට අධික කාලයක් ගත වී ඇතත්, තවමත් එම ආයතන පිහිටුවා නැත.

ඇයි මේ ප්‍රමාදය?

බීබීසී සිංහල සේවය මතු කළ ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ එක් එක් දේශපාලන පක්ෂවලින් පත්කළ යුතු කාන්තාවන් සංඛ්‍යාව තීරණය කිරීම ඇතුළු කරුණු හේතුවෙන් අදාළ ආයතනවල පාලනය පිහිටුවීම මඳක් ප්‍රමාද වූ බවය.

ඉදිරි සති කිහිපය ඇතුළත එම කටයුතු නිමා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

කාන්තාවෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"ඒ ඒ පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් යම් පක්ෂයක් හෝ කණ්ඩායමක් ජයග්‍රහණය කරලා තියෙනව නම්, නගරාධිපති හෝ නියෝජ්‍ය නගරාධිපති පත්කරන්න කියල අපේ තේරීම් භාර නිලධාරීන් ඒ පක්ෂයට හෝ කණ්ඩායමට දන්වනවා," සභාපතිවරයා පැවසීය.

"ඒ වගේම සභාපති සහ උප සභාපති පත්කිරීම ඒගොල්ලන්ට ඉබේම හම්බවෙනවා. "

එමෙන්ම සභාපතිවරයා පෙන්වාදෙන ආකාරයට, සමානුපාතික නියෝජනය යටතේ අදාළ සභාවල ඒ ඒ පක්ෂයට ලැබෙන සභිකයන් සංඛ්‍යාව, කොට්ඨාස ක්‍රමය මගින් පත් වූ පිරිසට වඩා වැඩි නම් එහිදී සිය නාමයෝජනා පත්‍රවලින් ඒ සඳහා අපේක්ෂකයන් නම් කිරීමට අදාළ පක්ෂයට හෝ කණ්ඩායමට අවස්ථාව හිමිවේ.

"පෙබරවාරි 23 වෙනිදා හෝ ඊට පෙර ඒ සංඛ්‍යා සටහන් තේරීම් භාර නිලධාරීන් මාර්ගයෙන් පක්ෂ ලේකම්වරුන්ට දන්වා යවන්න අපි බලාපොරොත්තු වෙනවා," මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවයට පැවසීය.

තවත් කියවන්න:

කාන්තා නියෝජනය

කාන්තාවන් සඳහා සෑම සභාවකම 25%ක නියෝජනයක් අනිවාර්ය කිරීම මෙවර පළාත් පාලන මැතිවරණයේ විශේෂම ලක්ෂණයකි.

"අපි ඒ ගණනය කිරීම් කරලා, දැන් අද මේක නිමකරලා තියෙනව. ඉන්පස්සෙ පක්ෂවලින් ඒක නම්කරල එවුවහම ගැසට් නිවේදනය නිකුත් කරනවා," යනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විස්තර කළේය.

කිසියම් ලෙසකින් කිසියම් පක්ෂයකට හිමි වී තිබෙන සභික සංඛ්‍යාව හේතුවෙන් සමානුපාතික ක්‍රමය යටතේ කාන්තාවන් පත්කිරීමට අවස්ථාව නොලැබෙන්නේ නම්, එවිට ආයතනයේ සභිකයන් අතරින් 25%ක් කාන්තාවන් නම් කිරීම අනෙක් පක්ෂවලට පැවරෙන බව ඔහු පෙන්වා දුන්නේය.

පළාත් පාලන මැතිවරණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කෙසේ වුවත් කාන්තා නියෝජනය ස්ථාපිත කළ නොහැකි අවස්ථා ද තිබේ.

"කරෙයිනගර් සභාවේ එක කාන්තාවක්වත් පත්වෙන්නේ නැහැ මට මතක හැටියට. කාර්තිව් කියන සභාවේ කාන්තාවන් දෙදෙනෙක් පත්වෙන්න ඕනේ ඒත් පත්කරන්න පුළුවන් එක්කෙනයි මොකද අනික් පක්ෂවලට ඒක අනිවාර්ය කරන්න බැහැ පනතේ තියන විධිවිධාන අනුව."

එය පනත උල්ලංඝනය කිරීමක් නොවේද?

"එහෙම කියන්න බෑනේ? එහෙම සභා තියෙන්න පුළුවන්," කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැහැදිලි කළේය.

"සභා ජාති තුනක් තියෙනව. කිසිම අවුලක් නැතිව නියමිත ගාන පත්වෙන ඒවා, සමහර සභාවල අනික් පක්ෂවලට ඒ පත්කිරීම කරන්න සිද්ද වෙනවා, සමහර ඒව තියෙනව මොන ක්‍රමයෙන්වත් කාන්තා නියෝජනය 25% සාක්ෂාත් කරන්න බැරි ඒවා. ඒ සභා එහෙම දුවන්න වෙනවා."

එමෙන්ම කිසියම් අවස්ථාවක බහුතර ආසන දිනාගත් පක්ෂයට වඩා විරුද්ධ පක්ෂයට හිමි සභික සංඛ්‍යාව වැඩි නම්?

මහින්ද රාජපක්ෂ

"ඔය තත්වය මීට ඉස්සර තිබුණා, 1970ට පෙර. එකතුවෙලා පළවෙනි රැස්වීමේදී තමයි සභාපති සහ උප සභාපති තෝරාගන්නේ," යනුවෙන් පෙන්වාදුන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, "ඇයි ගමේ අය එකතුවෙලා සභාපති, උප සභාපති තෝරාගන්න එකේ වැරැද්ද මොකක්ද," යනුවෙන් පෙරළා ප්‍රශ්නයක් මතු කළේය.

එසේ නම් පොදු ජන පෙරමුණ ආයතන 239ක් ජයග්‍රහණය කළ බව පවසන්නේ ඇයි?

එම ප්‍රශ්නයට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රතිචාරය වූයේ "අපි එහෙම සඳහන් කරල නෑ," යන්නය.

"මම දේශපාලන විශ්ලේෂකයෙක්වත්, විචාරකයෙක්වත් නොවන නිසා මට ඔය ප්‍රශ්නෙට ඔව් කියන්නත් බෑ, බැහැ කියන්නත් බෑ, ඒ ප්‍රශ්නේ ගන්නේ නැතුව ඉන්න එක තමයි කරන්න තියෙන්නේ."

මේ අතර මහරගම ඇතුළු ඇතැම් පළාත් පාලන ආයතනවලට අදාළ ප්‍රදේශයේ වාසය නොකරන, තේරී පත්වීමට නුසුදුසු පුද්ගලයන් පවා තේරී පත්වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව විමසූ අවස්ථාවේ සභාපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවයන් අධිකරණයේ පිහිට පැතිය යුතු බවය.

"මම විශ්වාස කරනවා ඡන්දෙ තියල මාසයක් යන්න කලින් මේ ආයතන ටික පිහිටුවන්න පුළුවන් වේවි කියල."

සබැඳි වාර්තා: