ගෝඨාභය ජනාධිපතිවරණයට ඒවිද? - මහින්දගෙන් පිළිතුරු

මහින්ද රාජපක්ෂ

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ ගෙන ඒමට නියමිත බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය.

2016 වසර අවසානයේ හිටපු ජනාධිපතිවරයා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අවසන් වරට මුණගැසුණු අවස්ථාවේදී සඳහන් කළේ 2017 වසරේ ආණ්ඩුව පෙරළා දමන බවය.

තමන් දැන් ඒ ආසන්නයට පැමිණ ඇති බව මෙවර පැවති හමුවේදී ඔහු කීය.

"ඒ ව්‍යාපෘතිය යනවා, අගමැතිට ළඟදීම යන්න වෙනවා" යනුවෙන් හිටපු ජනාධිපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පවසමින් කියා සිටියේය.

"අගමැති යවන්න, එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරු කටයුතු කරයි වගේ පෙන්නේ. මට කරන්න දෙයක් නැතිවෙයි" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවට අත්සන් තබනු ඇති බවටත් තවත් මන්ත්‍රීවරු ජන්දයේදී ඊට සසහාය පළකරනු ඇති බවටත් හිටපු ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

කෙසේ නමුත් විශ්වාසභංග ඡන්දයකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බව තමන්ට සිතෙන්නේ යැයි ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

ගෝඨාභය රාජපක්ෂ

අගමැති සහ ජනපති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරන්නේ ඔබ නේදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මාධ්‍යවේදියෙක් විමසු විට ඔහු ඊට සිනහවකින් පමණක් පිළිතුරු දුන්නේ ලබන සතිය වන විට විශ්වාසභංගය ගෙන එන බව පවසමිනි.

තමන් ආණ්ඩුව භාරගැනීමට සුදානම් නොමැති බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙකුට විපක්ෂයේ සිට සහාය දීමට සුදානම් බව පැවසුවේය. තමන් ඉල්ලන්නේ ඉක්මන් මහමැතිවරණයක් බව හිටපු ජනාධිපතිවරයා විදේශ මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

ඉදිරි මැතිවරණවලදී සිය පාර්ශ්වය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග කරන බව පැවසූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද එයට එක්විය හැකි බව කියා සිටියේය.

2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරනවාදැයි විදේශ මාධ්‍යවේදියෙකු විමසු විට හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තවමත් එවැනි තීරණයක් නොමැති බවය.

"ජනතා කැමැත්ත අනුව එය තීරණය වේවි. ගෝඨාභය ද නැත්නම් වෙන කවුරු හරිද කියලා"

රාජපක්ෂ කඳවුරට රට තුළ තවමත් 50% ක ඡන්ද ප්‍රතිශතයක් නොමැති බවට ආණ්ඩුව ගෙන එන තර්කය ගැන නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණු ජන්දවලින් 75% ක් ජාතික මැතිවරණයකදී තම කඳවුරට ලැබෙන බවය. ඒ හේතුවෙන් 50% ලබාගැනීම ගැටලුවක් නොවන බව ඔහු සඳහන් කළේය.

A Sri Lankan man rides his bicycle past a burnt vehicle a day after anti-muslim riots erupted in Digana, a suburb of Kandy on March 7, 2018. Sri Lanka on March 5 declared a nationwide state of emergency to quell anti-Muslim riots that have killed at least two people and damaged dozens of mosques and homes, a minister said. 'The cabinet of ministers decided on tough measures, including a 10-day nationwide state of emergency,' Minister of City Planning Rauff Hakeem said as police imposed a curfew in the riot-hit central district of Kandy. / AFP PHOTO / STR (Photo credit should read STR/AFP/Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පසුගිය සතියේ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ජාතිවාදී කෝලාහලය ගැන මෙහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙම කෝලාහලයට තම පොහොට්ටු පක්ෂයේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) කිසිදු සම්බන්ධතාවක් නොමැති බවය.

ඊට එම පක්ෂය සම්බන්ධ බවට ආණ්ඩුව චෝදනා කර ඇති බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එවැනි සම්බන්ධයක් එම පක්ෂයට නොමැති බව අවධාරණය කළේය.

ප්‍රහාර සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයට සම්බන්ධ අය අත්අඩංගුවට ගෙන තිබෙනවා නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ විට මෙම අවස්ථාවට එක්ව සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ රටේ 100 දෙනෙකු අත්අඩංගුවට ගතහොත් එයින් 55 දෙනකු පොහොට්ටුවේ සාමාජිකයන් වනු ඇති බවය. වර්තමානයේ රටේ ජනමතය එය බව ඔහු පැවසුවේය.

"අවාසනාවකට ඔබලා මාධ්‍යවල මේවට හාමුදුරුවරු සම්බන්ධ බවට කිව්වම, මතයක් එන්න පුළුවන් මේකට රාජපක්ෂලා සම්බන්ධයි කියලා" යනුවෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

විදේශ ජනමධ්‍යවේදීන් සමග පැවති හමුව
ඡායාරූප ශීර්ෂ වැකිය, විදේශ ජනමධ්‍යවේදීන් සමග පැවති හමුව

මහනුවර ගැටුමේදී කතාබහට ලක්වූ මඩකලපුව ශ්‍රි මංගලාරාමයේ විහාරාධිපති හිමිනම මහනුවර ගැටුමට දින කීපයකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවූ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා, බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ද ජනාධිපතිවරයා හමුවී ඇතැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

තම ආණ්ඩු කාලය තුළ අලුත්ගම ගැටුම හටගත් විට එය දිනකින් පාලනය කිරීමට තමන්ට හැකිවූ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මහනුවර ගැටුම දින ගණනාවක් ඇදී යාම ආණ්ඩුවේ ආසාර්ථක පරිපාලනය පෙන්වන තවත් උදාහරණයක් බව සඳහන් කළේය.

සබැඳි යොමු: