බොදු බල සේනාවේ ඥානසාර හිමි ජපානයට ගියේ ජනපති සමගද?

ජපානයේදී ජනාධිපතිවරයා අමතන රැස්වීමක ඥානසාර හිමියන් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතී

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, ජපානයේදී ජනාධිපතිවරයා අමතන රැස්වීමක ඥානසාර හිමියන් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතී

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ දිනවල ජපානයේ නිල සංචාරයක නිරතව සිටී.

මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් දින කිහිපයකට පසුව යෙදුනු එම සංචාරය අතරවාරයේ ජනාධිපතිවරයා අමතන රැස්වීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල සංවාදයක් මතුවිණි.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද එම රැස්වීමට සහභාගිවී සිටින ආකාරය ඡායාරූපවල දක්නට ලැබීම ඊට හේතුවිය.

2014 අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාර ඇවිල වූ බවට ඥානසාර හිමියන් ඇතුලු බොදු බල සේනා සංවිධානයට ප්‍රබල චෝදනා එල්ල වූ අතර, ඉන් අනතුරුව වටරැක විජිත හිමියන් සහභාගි වූ රැස්වීමක් කඩාකප්පල් කිරීම, අධිකරණ පරිශ්‍රයකදී සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම ඇතුලු චෝදනා ගණනාවක්ම එහිමියන්ට එරෙහිව එල්ල වී තිබේ.

ඒ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු විභාග ද පැවැත්වෙමින් තිබේ.

'දිගු කාලීන වීසා බලපත්‍රයක්'

ශ්‍රී ලංකාවේ එවන් චෝදනා ලබා සිටින භික්ෂූන් වහන්සේ නමක් ජනාධිපතිවරයා සිය ජපාන නිල සංචාරයට එක්කර ගත්තේ දැයි යන්න සමාජ මාධ්‍යජාල ඔස්සේ බොහෝ දෙනා මතුකරන ප්‍රශ්නයකි.

බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව කළ විමසීමකදී බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක, කථිකාචාර්ය ඩිලන්ත විතානගේ කියා සිටියේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපතිවරයා ගේ නිල දූත මණ්ඩලයේ සාමාජිකයෙකු නොවූ බවය.

"නමුත් ඥානසාර හාමුදුරුවෝ ජපානයේදී ජනාධිපතිතුමා හමුවෙලා තියෙනව," ඔහු පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජපානයේ සංචාරයක නිරතව සිටින්නේ ජනාධිපතිවරයාගේ දූත පිරිසට ලැබුන නිල වීසා බලපත් භාවිතයකින් නොවන බවය.

එහිමියන් ජපානය බලා පිටත්ව ගොස් තිබෙන්නේ ජනාධිපතිවරයා ජපානයට යාමට පෙරාතුව බව දැනගන්නට ලැබී ඇතැයි ද නීතිඥ ශිරාල් ලක්තිලක වැඩිදුරටත් පැවසීය.

ඩිලන්ත විතානගේ සහ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩිලන්ත විතානගේ සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ බොදුබල සේනා සංවිධානයේ කථිකාචාර්ය ඩිලන්ත විතානගේ, කලක් මුලුලේම ජපානයේ සංචාරය කරන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජපානය විසින් දිගු කාලීන වීසා බලපත්‍රයක් නිකුත් කරනු ලැබ තිබෙන බව සඳහන් කළේය.

අධිකරණය විසින් පනවනු ලැබූ තහනමක් හේතුවෙන් කලක් එහිමියන්ට විදේශගත විය නොහැකිව තිබූ නමුත්, එහිමියන්ගේ ඉල්ලීමක් ප්‍රකාර අධිකරණය විසින් එම තහනම ඉවත්කරනු ලැබීමෙන් අනතුරුව ඥානසාර හිමියන් සිය වියදමෙන් ජපානය බලා පිටත්ව ගිය බව ද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී එහිමියන් තෙල්දෙණිය ප්‍රදේශයේ හටගත් ගැටුම් පිළිබඳ ජනාධිපතිවරයාට පැහැදිලි කිරීමක් කළ බව සඳහන් කළ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියා, ලබන මැයි මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බෞද්ධ උත්සවයක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා සාකච්ඡා කොට තිබෙන බවද වැඩිදුරටත් පැවසීය.

මේ අතර නඩු විභාගයක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට අපොහොසත් වීමේ හේතුව මත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බදාදා (මාර්තු 14) වරෙන්තු නිකුත්කර තිබුණි.

තවත් කියවන්න: