අර්ජුන මහේන්ද්‍රන් ගැන වගකීම අගමැතිවරයා භාරගත යුතුද?

රනිල් සහ මහින්ද

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පහසුවෙන් පරාජය කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

බදාදා (මාර්තු 21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේ අවශ්‍ය සහාය නොලැබීම නිසා කිසිවක් කර ගත නොහැකිව එම යෝජනාව භාර දී ඇති බවය.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 51 දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ඇමතිවරුන් තුන් දෙනෙකු සහ තවත් මන්ත්‍රීවරයෙකුගේ අත්සන් සහිත අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගය බදාදා කථානායකවරයාට භාර දෙනු ලැබිණි.

අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අත්සන් තැබීම ගැන විමසීමේදී අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවය.

වීඩියෝ ශීර්ෂ වැකිය, අර්ජුන මහේන්ද්‍රන් ගැන වගකීම අගමැතිවරයා ගත යුතුද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන එස්.බි දිසානායක ද විශ්වාසභංග යෝජනාවට සහාය දෙන බව ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයාගේ ආශීර්වාදය සහිතව නේදැයි විමසු විට අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයා ඒ ගැන කිසිවක් ප්‍රකාශ කර නොමැති බවය.

ආණ්ඩුවේ ඇමතිවරුන් ඊට සහාය පළකරන්නේ නම් ඔවුන් අමාත්‍ය ධුරවලින් ඉවත්විය යුතුදැයි විමසු විට අමාත්‍යවරයා පැවසුවේ "පැහැදිලිවම ඔව්" යනුවෙනි.

"මේ ඇමතිවරු කවුරුත් කැබිනට් මණ්ඩලයේදී මේ ගැන කතා කළේ නැහැ. එතන ඇවිල්ල මොකුත් කිව්වේ නැහැ."

විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විභාගයට ගන්නා දිනය පක්ෂ නායකයන් විසින් තීරණය කරනු ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 106 දෙනාගෙන් කීප දෙනෙකු විශ්වාසභංග යෝජනාවට සහාය පළකර ඇති බව පවසා තිබෙන බැවින් එය පරාජය කිරීම පහසු දැයි විමසූ විට ඇමතිවරයාගේ පිළිතුරු වූයේ "ඡන්දෙදි බලාගන්නකෝ"යනුවෙනි.

මහින්ද රාජපක්ෂ
ඡායාරූප ශීර්ෂ වැකිය, "අගමැතිට ළඟදීම යන්න වෙනවා" යනුවෙන් ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා පසුගියදා පැවසීය

මහබැංකු බැඳුම්කර වංචා චෝදනාව අලලා විශ්වාසභංග යෝජනාව සකස් කර තිබීම ගැන විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර සියල්ල අගමැතිවරයා ගෙන තිබෙන බවය.

"ඒ ප්‍රශ්නයේ ආර්ථික අලාභයක් නැහැ. බිලියන 12ක් රඳවා ගෙන තිබෙනවා. පාඩුව බිලියන 11යි, බිලියනයක් වැඩිපුරත් තිබෙනවා., ඊට අමතරව මේකට සම්බන්ධ අයට අද නීතිය ක්‍රියාත්මක කරලා තිබෙනවා."

මූල්‍ය චෝදනාවකට අවශ්‍යව සිටින රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වගකිව යුතු බවට ආණ්ඩුව චෝදනා කරන බැවින් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අධිකරණය මගහැරීම ගැන අගමැතිවරයා වගකීමක් ගත යුතුනේදැයි විමසු විට අමාත්‍යවරයා පැවසුවේ කිසිවෙකුටත් එලෙස වගකීමක් ගත නොහැකි බවය.

ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සියල්ල අගමැතිවරයා ගෙන ඇති බවත් ඔහු අර්ජුන මහේන්ද්‍රන් සමග දැන් සබඳතා නොපවත්වන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය.

"ඔහුව රැක බලාගන්න හැදුවොත්නේ වරද තියෙන්නේ. ඔහුගේ බෑණව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න හොයනවා. මේ සෑම දේකටම අගමැතිතුමා උදව් කළා," යනුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් පැවසීය.

සබැඳි යොමු: