විදේශිකයන් හදාගත් ලාංකික දරුවෝ: සැබෑ දෙමාපියන් සොයා DNA බැංකුවක්

The Sri Lankan health minister said foreign adoptions were temporarily banned in the 1980s because of "baby farms"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සිය සැබෑ දෙමාපියන් සොයාගැනීම සඳහා තම ජිව දත්ත ඇතුළත් "DNA බැංකුවක්" නෙදර්ලන්තයේ ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව යුරෝපා රටවල හදා වඩා ගැනීම පිණිස 1980 දශකයේ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය දරුවන් පිරිසක් පවසති.

විශේෂයෙන්ම ඔවුන් හදා වඩා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් ලබාදුන් ලියකියවිලි රැසක් ව්‍යාජ බැවින් සැබෑ දෙමාපියන් හඳුනාගැනීම අසීරු වී ඇති බව ද 'Sri Lankan mothers searching for their children' නමින් සමාජ මාධ්‍ය ජාලයක් පවත්වාගෙන යන එවැනි කණ්ඩායමක් පවසති.

සිය සැබෑ දෙමාපියන් සොයාගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි රෝවාන් වැන් විලන් බීබීසි සිංහල සේවය සමග මෙසේ අදහස් දැක්වීය.

"ඇත්තටම ගොඩක් අමාරුයි. අපිට අපේ අම්මල තාත්තල හොයාගන්න අපිට තියෙන ලියකියවිලි අනුව, ගොඩක් තොරතුරු ව්‍යාජයි. ඒ නිසයි අපි ලංකාවේ නෙදර්ලන්ත හදා වඩා ගන්න දීල තියෙන ළමයි එකතුවෙලා මේ වගේ වැඩක් පටන් ගත්තේ," ඔහු පැවසීය.

සිය තොරතුරු ඇතුළත් DNA දත්ත ගබඩාවක් ගොඩනැගීම රෝවාන් ඇතුළු කණ්ඩායමේ උත්සාහය වී තිබේ. තම සැබෑ ශ්‍රී ලංකික දෙමාපියන් සොයා ගැනීම මෙන්ම තමන්ගේ සොයුරු සොයුරියන් නෙදර්ලන්තයේ සිටිනවා ද යන්නත් එමගින් සොයා ගත හැකි බව ඔහු පැවසීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ව්‍යාජ ලේඛන සමග විදේශිකයන්ට දුන් දරුවන් සොයන්න DNA බැංකුවක්

"මේක අපි නෙදර්ලන්තයෙන් ආරම්භ කරනවා. ඊට පස්සේ ඩෙන්මාර්කය, ස්වීඩනය, ජර්මනිය වගේ රටවලත් කරන්න පුළුවන්."

1980-90 කාලවකවානුවේ ශ්‍රී ලංකාවේ දරුවන් 11,000ක් පමණ යුරෝපයට අළෙවි කර ඇති බව ඒ පිළිබඳව පර්යේෂණයක නියැලුණු නෙදර්ලන්ත මාධ්‍ය කණ්ඩායමක් සොයා ගෙන තිබේ. ඒ අතරින් දරුවන් 4,000ක් පමණ හදා වඩා ගැනීම සඳහා ලබාදී තිබෙන්නේ නෙදර්ලන්තයටය.

විශේෂයෙන්ම 1980 දශකයේදී සංවිධානාත්මක පිරිසක් ව්‍යාජ ලියකියවිලි නිර්මාණය කර දරුවන් අලෙවි කර තිබෙන අතර, එම දරුවන් දැන් නැවත සිය දෙමාපියන් සොයා බැලීමට පැමිණීමේදී විශාල මුදලක් ලබාගෙන ව්‍යාජ දෙමාපියන් ඔවුන්ට ඉදිරිපත් කර තිබෙන බව සිය පර්යේෂණයෙන් හෙළි වූ බව ද නෙදර්ලන්ත මාධ්‍ය කණ්ඩායම පවසයි.

1980 දශකයේ ශ්‍රී ලංකාවේ "බේබි ෆාම්" හෙවත් දරුවන් අලෙවි කරන මධ්‍යස්තාන තිබුණු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එම මාධ්‍ය කණ්ඩායමට තහවුරු කර තිබේ.

The Facebook page dedicated to reuniting Sri Lankan adoptees with their parents has hundreds of members

විශේෂයෙන්ම දෙපාර්ශයේම තොරතුරු ව්‍යාජ බැවින් ශ්‍රී ලංකාවේ දෙමාපියන් සහ එසේ හදා වඩා ගැනීම පිණිස ලබාදුන් දරුවන් යළි එක්කිරීම පිණිස දෙමාපියන්ගේ DNA පරීක්ෂණ සිදු කළ හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන්ට පවසා තිබේ.

මෙලෙස තම දරුවන් යුරෝපා රටවලට හදාවඩා ගැනීම පිණිස ලබාදුන් මව්වරුන් පිරිසක් බීබීසියට මුණගැසුනේ, 'Sri Lankan mothers searching for their children' නම් සමාජ මාධ්‍ය ජාලයට තොරතුරු ලබාදීම සඳහා පැමිණ සිටි අවස්ථාවේදීය.

"මගේ එකම බලාපොරොත්තුව මගේ දුවගේ මුණ දැකගන්න එක. මම අදටත් දරුවා දුන්නු එක ගැන හිත හිතා අඩනවා. ඒ දවස්වල මහත්තයා මාව දාලා ගියා. නැති බැරි කම හින්දයි ළමය දෙන්න වුනේ," දෙනියායේ සිට මෙම හමුව පැවති මීගමුවට පැමිණ සිටි එන් සිරිමාවතී හඬමින් බීබීසී සිංහල සේවයට පැවසීය.

මගේ එකම බලාපොරොත්තුව මගේ දුවගේ මුණ දැකගන්න එක. මම අදටත් දරුවා දුන්නු එක ගැන හිත හිතා අඩනවා. ඒ දවස්වල "මහත්තයා මාව දාලා ගියා. නැති බැරි කම හින්දයි ළමය දෙන්න වුනේ"
ඡායාරූප ශීර්ෂ වැකිය, මගේ එකම බලාපොරොත්තුව මගේ දුවගේ මුණ දැකගන්න එක. මම අදටත් දරුවා දුන්නු එක ගැන හිත හිතා අඩනවා. ඒ දවස්වල "මහත්තයා මාව දාලා ගියා. නැති බැරි කම හින්දයි ළමය දෙන්න වුනේ"

මාස දෙකක් සිය දරුවාගේ ඡායාරූපය හැරෙන්නට ඇය සතුව වෙනත් කිසිදු ලියවිල්ලක් නොතිබුණි.

තවත් මවක් පැමිණ සිටියේ වසර 28කට පෙර ස්වීඩනයට ලබාදුන් තම දියණිය ගැන තොරතුරක් සොයා ගෙනය. ඇය පැවසුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සැමියා නිසා සිය දියණිය හදා වඩා ගැනීම පිණිස දීමට සිදුවූ බවය.

"මට වඩා මගේ ලොකු පුතාටයි එයාගේ නංගිව දැකගන්න ආසාව තියෙන්නේ. එයා තමයි මේ ගැන ආරංචි වෙලා මෙතනට එක්කන් ආවේ," යනුවෙන් ඇය පැවසුවාය. ඇය සතු ලියකියවිලි අනුව දරුවා සොයාගැනීමට ඇයට හැකි වී නැත.

මීගමුවේ පදිංචි අන්ඩ්රු සිල්වා දෙමාපියන්ට සිය දරුවන් සොයා බැලීම පිණිස ස්වේච්ඡාවෙන් උපකාර කරන පුද්ගලයෙකි.

"මේ අම්මල හොයාගන්න එක හරි අමාරුයි. මොකද ගොඩක් අම්මලට මේ ළමයි ලැබිල තියෙන්නේ නිත්‍යානුකුල විවාහයකින් නෙවෙයි. ඒගොල්ලන්ට ඒ ළමයිව ගෙවල්වලට ගෙනියන්න බැහැ. ඒ නිසයි ඒ ළමයිව දීලා තියෙන්නේ. ඒගොල්ලෝ සමහර අය දැන් සාර්ථක පවුල් ජිවත ගතකරනවා. ඒ නිසා ඔවුන් ඉදිරිපත්වෙන්නේ නැහැ මේ ළමයි ගන්න," මෙම පවුල් යළි එක්කිරීමට ඇති අභියෝග ගැන අන්ඩ්රු සිල්වා බීබීසී යට පැහැදිලි කළේය.

People now aim to match the correct information and records with estranged children in Europe

"ගොඩක් අම්මලා ළමයි දුන්නේ සල්ලි වලට නෙවෙයි. මේකෙන් හම්බ කරේ අතරමැදියෝ. දැනුත් හම්බකරනවා මේ එන ළමයින්ට බොරු අම්මලා තාත්තල හඳුන්වල දීල. එක ළමයෙක් අවුරුදු 11ක් හම්බවෙලා තිබුනේ බොරු අම්මව."

නෙදර්ලන්තයට අමතරව අයිස්ලන්තය සහ සහ බ්‍රිතාන්‍යයෙන් පවා සිය දෙමාපියන් සොයා දෙන ලෙස මෑතකදී තමන්ට ඉල්ලීම් ලැබුණු බව නෙදර්ලන්ත තරුණ කණ්ඩායම බීබීසී යට පැවසූහ.