වසර තිහකට පසු මව් සෙනෙහස සොයා...

වසර තිහකට ආසන්න කාලයක් එකිනෙකා ගෙන් වෙන්ව සිටි මවක් සහ දියණියක් යළි හමුවීම පිළිබඳ පුවතක් මාරවිල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ජර්මනියේ සිට පැමිණි ෆිලීෂියා සුජාතා ස්මිත් ට තමා මෙලොවට බිහි කළ මව වන ස්වර්ණලතා හමුවුයේ ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ගේ මැදිහත්වීමෙන්.

කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණි ෆිලීෂියා මුලින්ම ගියේ තම මව බැලීම සඳහායි.

ෆිලීෂියා තම පවුලේ සාමාජිකයන් සමග
ඡායාරූප ශීර්ෂ වැකිය, ෆිලීෂියා තම පවුලේ සාමාජිකයන් සමග

මෙම දියණිය සහ මවගේ හමුවීම ඉතා සංවේදී අවස්ථාවක් වූ අතර මෙතෙක් කල් තම දියණිය දකින්නට නො ලැබීමෙන් තමන් මහත්සේ සිතින් දුක් විඳි බවයි ෆිලීෂියා ගේ මව වන ස්වර්ණලතා මාගරට් ප්‍රකාශ කළේ. ෆිලීෂියාගේ පැමිණීමෙන් සහෝදර සහෝදරියන් ද මහත් සතුටට පත් වූ අතර ෆිලීෂියා පැවසුවේ ඇයගේ සතුට කියා නිම කළ නොහැකි බවයි.

ෆිලීෂියා තම සැමියා සහ දියණියන් සමග
ඡායාරූප ශීර්ෂ වැකිය, ෆිලීෂියා තම සැමියා සහ දියණියන් සමග

1986 වසරේ දී මවට තිබූ දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් ෆිලීෂියා හදා වඩා ගැනීමට භාර කෙරුණේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ ජර්මන් ජාතික යුවළකටයි. වයස දින 21 ක් වූ ෆිලීෂියා දැරිය නීත්‍යනුකූලව තමන්ගේ භාරයට ගත් ඔවුන් ජර්මනියට ගොස් තම දරුවකු සේ ඇය හදා වඩා ගත් බවයි පැවසෙන්නේ. දැනට දෙදරු මවක් වන ෆිලීෂියා තම පවුලේ අයගේ ජීවිතය යහපත් තත්වයට පත් කිරීමේ අරමුණින් පසු වන බවයි ප්‍රකාශ කළේ.