අම්මාට කළ ලිංගික අතවර ගැන තාත්තාට සමාව දෙන්න බෑ - නිවුන් සොහොයුරෝ
නෙදර්ලන්තයේ හැදී වැඩුණු නිමල් සමන්ත සහ ජූරි සංජීව නිවුන් සොයුරන්ගේ පියා, පණස් හැවිරිදි බැරගමගේ නිමල්, තවමත් වාසය කරන්නේ මතුගම ලත්පඳුර ග්‍රාමයේ.
ඔහු දැන් අට දරු පියෙක්.

ඔහුට දාව සෝමාවතී තරුණිය බිහි කළ දරුවන් සිවු දෙනා ගෙන් එක් දරුවෙක් බාල වියේදීම මෙලොව හැර ගිහින්. සිවු වැනි දරුවා, චාමලී ලක්මාලි, මෙලොවට බිහි කොට මාස තුනකින් බිරිඳ ඔවුන් සියලු දෙනා හැර යන්නේ විසි එක් වැනි වියේදී.
මුල්ම නිවුන් දරු දෙදෙනා ඕලන්ද යුවලකට හදා වඩා ගැනීම පිණිස භාර දෙනු ලබන අතර, දියණිය හදා වඩා ගනු ලබන්නේ ආත්තම්මා විසින්.
නිමල් සහ ජූරි ගේ මව, සෝමාවතී, දූෂණය කළ බවට සොහොයුරෝ පියාට බරපතල චෝදනාවක් එල්ල කරති.
යුරෝපයේ වැඩුන සොහොයුරන්ගේ දෘෂ්ටි කෝණය යුරෝපීය සංස්කෘතිය මත පදනම් වෙද්දී, දෙමාපියන් අතර ප්‍රේම සම්බන්ධයක් ද තිබෙන්නට ඇති බව ලංකාවේ ගමේ වැඩුණු නැගණිය ගේ මතයයි.
'පවුලේ නම්බුව රැකීම'
ඇතැම්විට අම්මා, තාත්තා අතින් දූෂණයට ලක් වී තිබුණත්, සිය අම්මා ගැන ප්‍රසිද්ධියේ එවැන්නක් කීමට දියණිය දරන්නේ දැඩි අකමැත්තක්.
"සමහර විට මුලින්ම එහෙම වෙන්නත් ඇති. ඒත් ඒ වචනෙට මම කැමති නෑ," ඇය පවසන්නීය.

ලත්පඳුරේ පවුලේ නිවහනේදී අප ඔහු හමු වූ අවස්ථාවේ නිමල් සහ චාමලී ඉදිරියේදී මා ඒ ප්‍රශ්ණය නැගූ විට ඔහු පිළිතුරු දුන්නේ කිසිදු අකමැත්තකින් නොවේ.
සෝමාවතී සමඟ මුල් වරට ලිංගිකව එක් වූයේ ඇගේ කැමැත්තෙන් නොවන නමුත්, එය දූෂණයක් නොවන බව ඔහු අවධාරණය කරයි.
ඒ පළමු සිදුවීමෙන් පසුව ඔවුන් දෙදෙනා අඹු සැමියන් ලෙසින් කල් ගෙවූ බව ඔහු පුන පුනා මා සමඟ කියා සිටියේය.
ජීවිතයේ කිසි දින නොදුටු අම්මාට අත් වූ ඉරණමෙන් කම්පිතව, නෝනා පදනම නමින් පුණ්‍යායතනයක් පිහිටවූ නිමල් සමන්ත ඒ තර්කයට පිළිතුරු දෙන්නේ දැඩි කෝපයකින්.
තරුණියක දූෂණයට ලක් වීමෙන් අනතුරුව "පවුලේ නම්බුව" රැකීමේ අරමුණින් ඇය දූෂකයාටම විවාහ කර දීමේ ආසියානු සිරිත පිළිකුලෙන් යුතුව බැහැර කරන බවයි, ලිංගික අතවරයට ලක් වූ දහස් ගණන් ශ්‍රී ලාංකීය තරුණියන්ට පිහිට වූ පුණ්‍යායතනයේ නිර්මාතෘවරයා පවසන්නේ.
"දූෂකයා එක්ක ජීවත් වෙන්න කියල කවුරු හරි කාන්තාවකට බල කරන්නේ කොහොමද? එයාගේ මුළු ජීවිතේම විනාශ කරනවා විතරක් නෙවෙයි, එතකොට ඒ මනුස්සයාගේ ආත්ම ගෞරවයට මොකද වෙන්නේ?"
සමාව යැදීම
සිය පුතා නිවසට පැමිණි අවස්ථාවේ, යෞවන වියේදී තමන් අතින් සිදු වූ වැරදිවලට සමාව යැදීමට තාත්තා සූදානම්.

ඒත් සමාව යැදීම පිණිස පියා පුතා වෙත ලං වෙද්දී, අසල්වැසි දරුවෙකු ද අතින් අල්ලා ගෙන නිමල් සමන්ත අසල්වැසි නිවසකට දුව ගියේය.
"එයාට සමාව ඉල්ලන්න ඕන නම් සමාව ඉල්ලන්න ඕන මගේ අම්මගෙන්. ඒ වගේම මගේ නංගි ගෙන්. ඒ නිසා එයාට සමාව දෙන්නවත්, සමාව දෙන්න බෑ කියන්නවත් මට පුළුවන් කමක් නෑ," යන්න එසේ දුව ගියේ ඇයිද යන්න විමසූ විට පුතා පළ කළ ප්රතිචාරයයි.
නිමල් ගේ නිවුන් සොහොයුරු ජූරි සංජීව ඊට මාස කිහිපයකට පෙර පළමු වරට සිය පියා හමු වී තිබිණ.
පියා හමුවීමේ අවශ්‍යතාවයට වඩා වසර ගණනාවක් තමා පෙලූ මානසික පීඩනයෙන් ගොඩ ඒම ඒ හමුවීමේ අරමුණ වූ බවයි, ජූරි සංජීව නෙදර්ලන්තයේදී මා සමඟ කියා සිටියේ.
"නංගිත් එක්ක එයා ලඟට ගිහිල්ල, ඇයි ඔයා මගේ අම්මව දූෂණය කළේ, ඇයි නංගිව දාල ගියේ කියල මම එයාගෙන් ප්‍රශ්න කළා. එතකොට එයා අඬන්න පටන් ගත්ත. අඬලා මගෙන් සමාව ඉල්ලුව. එදා තමයි මම එයාගේ ඇස් දෙක දිහා කෙලින්ම බැලුවේ."
'ජීවිතේ එකම සිහිනය'
ඒ අයුරින්ම නිමල් සමන්තගෙනුත් සමාව ඉල්ලීමට බැරගමගේ නිමල් සූදානම්. ඒත් ඔහු සමීපයට යාමට හෝ නිමල් සූදානම් නැහැ.

"එයා දැන් ඒ දේවල් ගැන දුක් වෙන එක හොඳයි. ඒත් දැන් ඒකට ප්‍රමාද වැඩියි. මගේ අම්ම දැන් ජීවතුන් අතරේ නෑ. ඒ නිසා එයාට කවදාවත් එයා ඉල්ලන සමාව ලැබෙන්නේ නෑ. මගේ ජීවිතේ හැමදාමත් තිබුණු සිහිනය අම්මව දකින එක. ඒත් එයා නිසා මට අම්මව දකින්න ලැබුනේ නෑ."
එසේ නම් මේ පිය පුතුන් අතර ජීවිතයේ කිසි දිනෙක හෝ සංහිඳියාවක් ඇති නොවේවිද?
"මම දන්නේ නෑ. සමහර වෙලාවට මම කවදාවත් එයා එක්ක කථා කරන එකක් නෑ. මොකද එයා නිසා මට අම්මව දකින්න නැති වුනා අම්මට මාව දකින්න නැති වුනා."
ශ්‍රී ලංකාවේ දීර්ඝ චාරිකාවක් හමාරයේ දවසේ තෙහෙට්ටුව නිවා ගැනීම පිණිස මුහුදු වෙරළේ සක්මනක යෙදෙන අතරේ ඔහුගේ අනාගත බලාපොරොත්තු ගැන නිමල් සමන්ත විමසීමි.
අනාගතය ලංකාවේ
"මම හිතන්නේ මම අයිති ලංකාවට. නෙදර්ලන්තයේ මගේ අම්මයි, තාත්තයි එක්ක මගේ බොහොම හොඳ සම්බන්ධයක් තියෙන්නේ. අම්මල දෙන්නෙක් ලබන්න මම වාසනාවන්ත වෙලා තියෙනව. ඒ වගේම එක ආදරණීය තාත්ත කෙනෙක්. කොහොම වුනත් අන්තිමේදී මම අයිති වෙන්නේ ලංකාවට."
චරිත ස්වභාවයෙන් වෙනසක් දක්නට ලැබුනත් නෙදර්ලන්තයේදී හමු වූ අවස්ථාවේ ජූරි සංජීවද මා සමඟ කියා සිටියේ එවැනිම අදහසක්.
"මම දන්නවා මගේ අනාගතය මොකක්ද කියල. මගේ අනාගතය තියෙන්නේ ලංකාවේ," යන්න ජූරි සංජීව ඒ ප්‍රශ්නයට දුන් පිළිතුරයි.
"නිමල් දැන් නෝනා පදනම පිහිටුවල අතවරයට ලක් වෙච්ච ලංකාවේ තරුණියන්ට උපකාර කරනවා. ඒ වගේම මම හිතන්නේ පිරිමි මේ තරම් කාන්තාවන් දූෂණය කරන්නෙත් මානසික ප්‍රශ්න නිසා. ඒ පුරුෂයන්ට මානසික ප්‍රතිකාර කරන ව්‍යාපෘතියක් පටන් ගන්න මම බලාපොරොතතු වෙනවා. ඒකෙනුත් අපිට තරුණියෝ අතවරයට ලක් වෙන එක වලක්ව ගන්න පුළුවන්. මගේ සිහිනය ඒකයි."
විශේෂාංග මාලාවක අවසාන වැඩසටහන. නිමල් සමන්ත හඳුන්වා දුන් මාධ්‍යවේදී ආර්ජී ධර්මදාසට ස්තුතියි