ඕලන්දයේ හැදී වැඩුණු නිවුන් සොහොයුරෝ අම්මා සොයා යති
චාමලී ලක්මාලි නිමල් සමන්ත සහ ජූරි සංජීවගේ එකම නැගණියයි.
ඕලන්දයේ හැදී වැඩුණු සොහොයුරන් දෙදෙනා ට ෆොන් ඕත් වාසගම ලැබෙද්දී, ලංකාවේ හැදී වැඩුණු නැගණිය බැර ගමගේ වාසගම ලබන්නීය.
සති හයක බිලිඳු වියේදී ඕලන්දයට රැගෙන ගිය සිය සොහොයුරන් දෙදෙනා ඇයට මුලින්ම හමු වන්නේ 2004 දී.
මේ සොහොයුරු සොහොයුරියන් එකිනෙකා හඳුන්වා දී මෙහිලා මූලික කාර්ය භාරය ඉටු කරනු ලැබුවේ ලාල් බණ්ඩාර විසින්.

කොළඹ ප්‍රධානම පෙළේ බොජුන් හලක ප්‍රධාන කෝකියා වන ඔහු මට මුණ ගැසුනේ බොජුන් හලේ සේවය කරමින් සිටියදී.
ඕලන්දයේ සංචාරක කර්මාන්තයක් පවත්වා ගෙන යන ශ්‍රී ලාංකික මිතුරකු විසින් කරන ලද ඉල්ලීමකින් අනතුරුව, නිමල් සහ ජූරි ගේ උප්පැන්න සහතික ඇතුළු ලිපි ලේඛන ලබාගත් ඔහු කිහිප වතාවක්ම මතුගම ලත්පඳුර ගම්මානයට ගොස් තොරතුරු සොයා බැලුවේය.
'අම්මා නැතත් නැගණියක් ඉන්නවා'
සිය මව සහ නැගණිය පිලිබඳ තොරතුරු මුලින්ම සැලවූ ආකාරය නිමල් සමන්තට තවමත් මතකයි.
“මම ඉස්සෙල්ලම ලංකාවට ගියේ 2001 දී. ඒ වෙලාවේ අපි ගියේ ඒජන්සියක් හරහා,” ඔහු සිය මතකය අවදි කළේ මා නෙදර්ලන්ත අගනුවර දී ඔහු හමුවුන මොහොතේ.
“ඒ ගමන ගිහිල්ල ආවට පස්සේ, මගේ අම්මව හොයා ගන්න උදවු කරන්න පුලුවන්ද කියල මම ඒ ඒජන්සියෙන් ඇහුවා. දන්නවනේ, ලංකාවේ මිනිස්සු වැඩ කරන්නේ බොහොම හෙමින්නේ? ඉතින් ඒකට අවුරුදු දෙකක් ගත වුනා.”

ළමා වියේ සිට තමන් සොයමින් සිටි සිය ජීවිතයේ අහිමි වූ සම්පත, අම්මා, තවදුරටත් ජීවතුන් අතර නැති බවයි, ඔවුන්ට දැන ගන්නට ලැබුනේ.
“අන්තිමට මට ඒගොල්ල ගැන ආරංචිය ලැබුනේ 2003 දී.”
අම්මා නැතත් ඔවුන්ට නැගණියක් සිටින බව ලාල් බණ්ඩාර දෙසොහොයුරන්ට දැනුම් දුන්නේය.
සොහොයුරන් පිලිබඳ ආරංචිය ලැබීමෙන් ප්‍රීති ප්‍රමෝදයකට පත් වූ චාමලී ලක්මාලි මා හා කියා සිටියාය.
එහෙත් 2004 ජුනි මාසයේදී ඔවුන් මුලින්ම හමු වූ මොහොතේ, ‘ලොකු අයියා,’ ජූරි සංජීව ගෙන් පළ වූයේ චාමලී බලාපොරොත්තු වූ ප්‍රතිචාරය නොවේ.
“ඇත්තටම මට දැනුනේ ලොකු තරහක්, සතුටක් නෙවෙයි. අපි බදා ගත්තේ නෑ. සතුටු වුනේ නෑ,” ජූරි සංජීව ඒ හමුවීම ගැන මතකය අවදි කලේ එලෙසින්.
'ජීවිතේ ලස්සනම දවසක්'
“මොකද මගේ අම්මා නැතිවෙලා කියල මට ආරංචි වුනේ ඊට ටික කාලෙකට කලින්. ඒ නිසා ඒ දුකට මගේ හදවත ගල් වෙලා තිබුනේ. ඉතින් නංගිව මුලින්ම දැකපු වෙලාවේ මට කිසිම හැඟීමක් දැනුනේ නෑ.”
ජූරි ගේ නිවුන් සොහොයුරු නිමල් සමන්ත ගෙන් පල වූයේ ඊට වඩා වෙනස් ප්‍රතිචාරයක්.
“හරිම අමුතු හැඟීමක් මට දැනුනේ. ඒක මගේ ජීවිතේ ලස්සනම දවස් වලින් එකක්. එදා තමයි මම මගේ නංගිව පලවෙනි වතාවට දැක්කේ.”
“හරිම අමුතු හැඟීමක් ඒක. අපි ගෙදර එනකොට නංගී අපි එනකම් බලා ගෙන හිටිය. එයාත් හරිම සතුටෙන් හිටියේ.”
කෙසේ නමුත් ඉන් වසර දෙකකට පසුව ජූරි සංජීව අධ්‍යාපනය හැදෑරීම සඳහා මාස හයක කාලයකට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුන අවස්ථාවේ ඔහුගේ ඒ හැසිරීම වෙනස් වී තිබිණ.
“ඒ වෙලාවේ මම හැමදාම නංගිව බලන්න ගියා. කලින් සැරේ වගේ නෙවෙයි, ඒ වෙලාවේ අපි දෙන්න හොඳට සතුටු වුනා.”
“මම දන්නවා මම එයාට ආදරෙයි කියල. නමුත් කලින් වතාවේ අම්මට වෙච්ච දේ ගැන මම තරහින් හිටියේ. ඒ වගේම දුකෙන්.”
--------------------------------------------------------------------------------------------------
නිවුන් සොයුරන්ගේ පියා සහ නැගණිය හමුවීම පිණිස නිමල් සමන්ත සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුන අන්දම මීළඟ කොටසින්.