බ්‍රිතාන්‍ය රජ පවුල තවත් දරුවෙක් අපේක්ෂාවෙන්

The growing family on the Queen's 90th birthday

ඡායාරූප මූලාශ්‍රය, PA

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු (කේම්බ්‍රිජ් හි ආදිපාදයා) සහ කේට් කුමරිය (කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය) සිය තුන් වෙනි දරු උපත බලාපොරොත්තුවෙන් සිටින බව කෙන්සින්ටන් මාලිගය නිවේදනය කළේය.

එම පුවත පිළිබඳව එලිසබෙත් රැජින ඇතුළු පවුලේ සියලු දෙනා "මහත් ප්‍රීතියට පත් වූ" බව ද වාර්තා වේ.

සිය පළමු දරු උපත් දෙකේදී මෙන්ම දරුවා පිළිසිඳ ගැනීමත් සමග 35 හැවිරිදි කේට් කුමරිය අසනීප තත්වයෙන් පෙළෙමින් සිටියි.

එබැවින් ඇය සඳුදාට (සැප්තැම්බර් 04) නියමිත රාජකාරි කටයුතුවලින් ඈත්ව සිටින අතර, ඇය කෙන්සින්ටන් මාලිගයේ විවේක සුවයෙන් පසුවන බව ද නිවේදනයේ සඳහන් විය.

විලියම් කුමරු සහ කේට් කුමරිය, සිව් හැවිරිදි ජෝර්ජ් කුමරු සහ දෙහැවිරිදි චාලට් කුමරියගේ සාඩම්බර දෙමාපියෝය.

බ්‍රිතාන්‍ය කිරුළ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කේට් කුමරිය දරු උපතක් බලාපොරොත්තුවෙන් සිටින බව 2012 දෙසැම්බර් මාසයේ ඇය රෝහල්ගත කෙරුණු අවස්ථාවේ නිවේදනය කෙරුණු අතර, ඉන් අනතුරුව 2014 සැප්තැම්බරයේ ඇය අසනීප වූ අවස්ථාවේ දෙවැනි දරු උපත පිළිබඳව හෙළි කෙරිණ.

චාල්ස් කුමරු, විලියම් කුමරු, ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරියගෙන් අනතුරුව බ්‍රිතාන්‍ය කිරුළට උරුමකරු ඔවුන් දෙපලගේ තුන් වෙනි දරුවාය.

ඔහු හෝ ඇය එලිසබෙත් රැජිනගේ හය වෙනි මී මුණුපුරා/මිණිපිරීය.

රජ පවුලක තුන් වෙනි දරුවා කිරුළු පැළඳීම ඉතා දුර්ලභ සිදුවීමකි. වින්ඩ්සර් රජ පවුලේ පාලන කාලය තුළ එවැන්නක් සිදු වී නැත.

එහෙත් තුන් වෙනි ජෝර්ජ් රජතුමාගේ සහ චාලට් රැජිනගේ තුන් වෙනි දරුවා සිව් වෙනි විලියම් නමින් 1830 දී කිරුළු පැළඳිය. ඔහු 1837 දක්වා බ්‍රිතාන්‍යය පාලනය කළේය.

විලියම් කුමරු (කේම්බ්‍රිජ් හි ආදිපාදයා) සහ කේට් කුමරිය (කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය)

ඡායාරූප මූලාශ්‍රය, AFP/getty images