මෙහෙකරුවන්ට අමානුෂිකවූ අරාබි රජ කුමරියන්ට දඬුවම්

මෙම නඩු විභාගය නිම වීමට වසර දහයකට ආසන්න කාලයක් ගතවිය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම නඩු විභාගය නිම වීමට වසර දහයකට ආසන්න කාලයක් ගතවිය

තම මෙහෙකරුවන්ට පහත් ආකාරයට සැලකීම සහ මිනිස් ජාවාරම සිදු කළ බවට එල්ල වූ චෝදනාවලට වරදකාරියන් වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, රාජ කුමාරිකාවන් අට දෙනෙකූට දඬුවම් නියම වෙයි.

මෙම කුමාරිකාවන්ට පහළොස් මසක අත්හිටවූ සිර දඬුවමක් සහ දඩ මුදල් නියම වූයේ බ්‍රසල්ස් නුවර අධිකරණයක පැවති නඩු විභාගයකින් අනතුරුව ය.

ඒ අනුව එක් රාජ කුමාරිකාවක ඩොලර් 185,000ක දඩයක් ගෙවිය යුතු අතර එම දඩ මුදලින් අඩක් අත්හිටවූ දඩයක් ලෙස නියම විය.

වසර 2008දී සිදුකළ සංචාරයක දී මෙම කුමාරිකාවන් විසින් මෙහෙකරුවන් විසි දෙනෙකු රැගෙන ගොස් ඇති අතර ඔවුන්ට ලැබී ඇත්තේ වහලුන්ට සම සැලකුම් ය.

නමුත් මෙම මෙහෙකරුවන්ට ඉතා අමානුෂික ලෙස සලකු බවට එල්ලවූ බරපතළ චෝදනා කිහිපයකින් ම මෙම කුමාරිකාවන් නිදහස් කර තිබේ.

එල්ලවූ සියලුම චෝදනා රාජ කුමාරිකාවන් අටදෙනා විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත.

රාජ කුමාරිකාවන් අටදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් ඛලීෆා බින් සයීඩ් ගේ ඥාතියෝ වෙති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජ කුමාරිකාවන් අටදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් ඛලීෆා බින් සයීඩ් ගේ ඥාතියෝ වෙති

ඔවුනට නියම වී ඇති දඩ මුදල් ගෙවන්නේද නැතහොත් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්නේද යන වග තවමත් තීරණය කර නොමැති බව අරාබි කුමාරිකාවන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා කියා සිටියේය.

මෙම නඩු විභාගය සඳහා එක්සත් අරාබි එමීරයේ රාජ කුමාරිය සහ ඇයගේ දූකුමරියන් හත්දෙනා පෙනී සිට නැත.

කෑමට ඉතිරි වූ යමක්

මෙම කුමාරියන් අට දෙනා නවාතැන් ගෙන සිටි සුඛෝපභෝගී හෝටලයෙන් එක් මෙහෙකාරියක් පැන යාමෙන් අනතුරුව මේ පිළිබඳව මාධ්‍යයට හෙළි විය.

දවසේ පැය 24 පුරාම සේවයේ නිරත විය යුතු බවට නියෝග ලැබ සිටි මෙම මෙහෙකරුවන්ට නිදා ගැනීමට ඇඳක් ලැබී නැත.

එකදු නිවාඩු දිනයක් හෝ නොලද මොවුන්ට කෑමට ලැබී ඇත්තේ කුමාරිකාවන් අනුභව කොට ඉතිරි වූ යමක් පමණි.

මෙම නඩු විභාගය නිම වීමට වසර දහයකට ආසන්න කාලයක් ගතවිය.