'සාලිය පරපුරේ' ජපන් කුමරියට රජසැප අහිමිද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අකිහිතෝ අධිරාජයාගේ වැඩිමල් මිනිබිරිය වන මාකෝ කුමරිය සරසවියේ දී හමු වූ සාමාන්‍ය පුද්ගලයකු සමඟ විවාහ ගිවිස ගත් බව ජපානයේ රජ මාළිගය නිවේදනය කරයි.
එම නිවේදනය මාකෝ කුමරියගේ විවාහ චාරිත්‍ර මාලාවේ සමාරම්භක පියවරයි.
එම විවාහයත් සමඟ මාකෝ කුමරියගේ රාජකීය තත්වය අහිමි කෙරෙනු ඇත.
අකිහිතෝ අධිරාජ්‍යයාගේ පළමු මිනිබිරිය වන මාකෝ කුමරිය විවාහ ගිවිස ගැනීමට නියමිතව ඇත්තේ නීති සමාගමක සේවය කරන කෙයි කොමුරෝ සමඟ ය.
තෝකියෝ නුවර විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටියදී දෙදෙනා මුලින්ම හමුවී ඇත්තේ 2012 වසරේදී ය.
දෙදෙනාම විසිපස් හැවිරිදි වෙති.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ජපානයේ රාජකීය නීතිය අනුව රජ කුමරියක විසින් සාමාන්‍ය පුද්ගලයෙක් විවාහ කර ගනු ලබන්නේ නම් ඇය රජ පවුලෙන් ඉවත් කිරීම අනිවාර්ය වෙයි.
ඒ අනුව මාකෝ කුමරිය රජ පවුලෙන් ඉවත් කිරීමත් සමඟ ජපන් රජ පවුල සාමාජිකයන් කීප දෙනකුට සීමා වීමේ ප්‍රශ්නය යළිත් සමාජගත වෙමින් ඇත.
රජ පවුලේ කුමර කුමරියන් සාමාන්‍ය මිනිසුන් සමඟ අතිනත ගැනීමත් සමඟ ඔවුන්ට රාජකීය වරප්‍රසාද අහිමි කෙරෙන නීතිය සංශෝධනය කිරීමේ කාලීන උවමනාව සලකා බලන මෙන් ජපානයේ දේශපාලන පක්ෂ විසින් මේ අතර යෝජනා කරනු ලැබ ඇත.
ජපන් ඉතිහාසයේ ප්‍රථම වරට ජපන් රජ පවුලේ කුමාරියක් සාමාන්‍ය වැසියෙකු විවාහ වුණේ 2005 වසරේදී ය.
ඒ මාකෝ කුමරියගේ නැන්දණිය වන සයාකෝ කුමරියයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
තෝකියෝ නගර සභාවේ නාගරික සැලසුම්කරුවෙකු සමඟ විවාපත් ඇය රාජකීයත්වය අතහැර සාමාන්‍ය වැසියෙකු බවට පත් වූ පළමු ජපන් රාජ කුමාරිකාව ලෙස ඉතිහාසයට එක් වූවාය.
අනතුරුව තනි කාමරයක් පමණක් සහිත මහල් නිවාසයක පදිංචි වූ සයාකෝ කුමරියට මෝටර් රථ පැදවීම සහ වෙළඳ සැලකින් භාණ්ඩ මිල දී ගැනීම වැනි සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම් මුල සිට ඉගෙනීමට සිදු විය.








