දකුණු කොරියාවේ උපත් අඩුවීමත් සමග ශ්‍රම හිඟයක්?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දකුණු කොරියාව අපේක්ෂා තබන ලද දරු උපත් අනුපාතය මේ වසරේ වාර්තාගත පහළ මට්ටමකට වැටී ඇත.
2017 වසර තුළ සිදුවිය හැකි දරු උපත් සංඛ්‍යාව තුන් ලක්ෂ හැට දහසක් පමණ විය හැකැයි 'සෝල්' බලධාරීන් විසින් ඇස්තමේන්තු කරනු ලැබ ඇති අතර එය එරට අපේක්ෂිත දරු උපත් අනුපාතයේ විශාල පහත වැටීමක් පෙන්නුම් කරයි.
දකුණු කොරියාවේ දරු උපත් අනුපාතය ලක්ෂ හතරට අඩුවෙන් ඇස්තමේන්තු කෙරුණ පළමු අවස්ථාව මෙයයි.
ඉහළ යමින් පවතින තරුණ විරැකියාව අපේක්ෂිත දරු උපත් අනුපාතය පහළ වැටීමට හේතු වී ඇති බව බලධාරීහු පවසති.
අඹු සැමියන්ට වැඩි වශයෙන් දරුවන් බිහි කිරීමට දිරිමත් කරමින් පසුගිය දශකය තුළ දකුණු කොරියානු රජය විසින් ඇමරිකානු ඩොලර් බිලියන හැත්තෑවක ව්‍යාපෘතියක් ද දියත් කර තිබිණි.
නිවාස මිල ගණන් ඇතුළු ජීවන වියදම ඉහළ යාම සහ අධ්‍යාපන වියදම් වේගයෙන් ඉහළ නැගීම හේතුවෙන් වැඩි වශයෙන් දරුවන් බිහි කිරීම කළ නොහැකි බව අඹු සැමියෝ පවසති.
ආර්ථිකය

ඡායාරූප මූලාශ්‍රය, Getty
එමෙන්ම දරු ප්‍රසූතිය සඳහා ලබා දෙන නිවාඩු සම්බන්ධයෙන් පවතින දුර්වල ප්‍රතිපත්ති සහ ගේදොර වැඩකටයුතු සඳහා පුරුෂයන්ගෙන් ප්‍රමාණවත් සහායක් නොලැබීම පිළිබඳව ද කාන්තාවන්ගේ අවධානය යොමුව ඇතැයි බීබීසී ලෝක සේවයේ ආසියා ශාන්තිකර කලාපය භාර සංස්කාරකවරිය සෙලියා හැටන් පවසන්නීය.
අඩු උපත් අනුපාතය හමුවේ ශ්‍රම බලකායට එක් වන පිරිස අඩු විය හැකි බවට බලධාරීහු බිය පළ කරති.
ඒ හේතුවෙන් දකුණු කොරියාවේ ආර්ථික වර්ධනයට ද බලපෑම් එල්ල විය හැකි බව ද බලධාරීහු පවසති.
2015 වසරේ එරට මරණ අනුපාතය දහසකට 5.8 ක් ලෙස ඇස්තමේන්තු කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images









