චීනය CIA ඔත්තුකරුවන් මරා දමලා - නිව්යෝක් ටයිම්ස්

Chinese police guard the US embassy in the capital, Beijing

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, බෙයිජිං අගනුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටින චීන පොලිස් නිලධාරීන්

සිය රට තුළ රහස්‍ය තොරතුරු රැස්කරමින් සිටි CIA ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ ඔත්තුකරුවන් 20 කට ආසන්න පිරිසක් 2010 සිට 2012 දක්වා කාලය තුළ චීන බලධාරීන් විසින් මරා දමා හෝ සිරගත කරනු ලැබ ඇති බව නිව්යෝක් ටයිම්ස් (New York Times) පුවත්පත පවසයි.

එමගින් චීනය තුළ සිට රහස් තොරතුරු රැස්කිරීමේ ඇමෙරිකානු වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීමට චීන බලධාරීන් සමත් වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

සීඅයිඒ ආයතනයේ වෙබ් අඩවියට රහසිගතව ඇතුළු වී ඔවුන් පිළිබඳ තොරතුරු සොයාගත්තේද, නොඑසේනම් තමන්ගේම ඔත්තුකරුවෙකු චීන බලධාරීන්ට ඒ පිළිබඳව කරුණු හෙළි කළේද යන්න පැහැදිලි නැති බවත් ඇමෙරිකානු බලධාරීහු පවසා තිබේ.

අනෙක් ඔත්තුකරුවන්ට අනතුරු ඇඟවීමක් ලෙසින් ආණ්ඩුවේ කාර්යාල පරිශ්‍රයකදී එක් ඔත්තුකරුවෙකු ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමා ඇති බවත් බලධාරීහු සඳහන් කළහ.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාව පිළිබඳව සීඅයිඒ ආයතනය කිසිදු ප්‍රතිචාරයක් පළ කර නැත.

ඒකාබද්ධ මෙහෙයුමක්

චීන ආණ්ඩුවේ ඉහලම ස්ථරවලින් ලැබෙමින් පැවති රහසිගත වාර්තා 2010 දී ක්‍රමයෙන් අඩු වූ බව CIA ආයතනයේ හිටපු නිලධාරීන් සිවු දෙනෙක් පුවත්පතට පැවසූහ.

ඉන් අනතුරුව 2011 දී ඔත්තුකරුවන් අතුරුදහන්වීම ඇරඹිණ.

Last year, China warned government officials to watch out for spies - and not fall in love with them
ඡායාරූප ශීර්ෂ වැකිය, ඔත්තුකරුවන් පිළිබඳව විමසිල්ලෙන් සිටින්නැයි චීනය පසුගිය වසරේ ආණ්ඩුවේ නිලධාරීන්ට අනතුරු ඇඟවීය

සිදුවෙමින් පවතින්නේ කුමක් දැයි සොයාබැලීම පිණිස සීඅයිඒ ආයතනය සහ එෆ්බීඅයි (FBI) ආයතනය 'Honey Badger' නම් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කළේය.

සීඅයිඒ ආයතනයේ හිටපු නිලධාරියෙකු පිළිබඳව අදාළ විමර්ශනයේ මූලික අවධානය යොමුවුවත්, ඔහු අත්අඩංගුවට ගැනීම පිණිස ප්‍රමාණවත් සාක්ෂි නොලැබුණ බව පුවත්පත සඳහන් කරයි. ඔහු දැන් වෙනත් ආසියානු රටක වාසය කරයි.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව මත චීන ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරියෙකු අත්අඩංගුවට ගැණින. ඔහු රහසිගතව සීඅයිඒ ආයතනයට බඳවාගෙන ඇති බව විශ්වාස කෙරිණ.

ඒ හැරුණු විට එවැනි වෙනත් අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව වාර්තා වී නැත.

වසර දෙකක් ඇතුළත සිය ඔත්තුකරුවන් එතරම් විශාල ප්‍රමාණයක් අතුරුදහන්වීම මගින් සීඅයිඒ ආයතනයේ වැඩපිළිවෙල චීනය තුළ රහස් තොරතුරු රැස්කිරීමේ ජාලය බරපතල කඩාවැටීමකට ලක් වූ බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසයි.

එය ඔත්තු සේවාවල තොරතුරු අනාවරණය වීම සම්බන්ධයෙන් මෑත ඉතිහාසයේ තමන් මුහුණදුන් බරපතලම සිදුවීමක් බව බලධාරීහු පැවසූහ.