තාලිබාන් සංවිධානයේ ඉහළ පෙළේ අභ්‍යන්තර බෙදීමක් බීබීසීය හෙළි කරයි

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
- Author, බීබීසී ඇෆ්ගන්
බීබීසීය වෙත ලැබුණු හඬ පටයකින් තාලිබාන් නායකයා වඩාත් කණස්සල්ලට පත් කොට ඇති දේ ගැන හෙළිදරව් විය.
2021දී එක්සත් ජනපදය ඉවත් වී, පෙර රජය බිඳවැටී තාලිබාන් සංවිධානය එහි පාලනය අල්ලා ගත් දා එය ආරම්භ විය. එනම් එය බාහිර තර්ජනයක් නොව, ඇෆ්ගනිස්ථානය තුළින් ම ඔවුන්ට එල්ල වන තර්ජනයකි.
රට පාලනය කිරීම සඳහා තාලිබාන් සංවිධානය විසින් පිහිටුවන ලද 'ඉස්ලාමීය එමීර්' රජය තුළ එකිනෙකාට එරෙහිව කටයුතු කරන "ආණ්ඩුව තුළ ම සිටින" පුද්ගලයින් ගැන ඔහු අනතුරු ඇඟවීය.
අභ්‍යන්තර මතභේද හේතුවෙන් අවසානයේ ඔවුන් සියලු දෙනා ම පරාජය හැකි බව අප වෙත ලැබුණු හඬ පටයේ දී උත්තරීතර නායක හිබාතුල්ලා අඛුන්ද්සාදා පවසන අයුරු ශ්‍රවණය වෙයි.
"මෙම බෙදීම්වල ප්‍රතිඵලයක් විදිහට, එමිරේටය බිඳ වැටිලා අවසන් වෙලා යාවි," ඔහු අනතුරු ඇඟවීය.

ඡායාරූප මූලාශ්‍රය, AFP / Universal Images Group via Getty
2025 ජනවාරි මාසයේදී දකුණු කන්දහාර් නගරයේ මද්‍රසාවකදී තාලිබාන් සාමාජිකයින් අමතමින් කරන ලද මෙම ප්‍රකාශය, මාස ගණනාවක් තිස්සේ පැතිර ගිය කටකතාවක් වන තාලිබාන් සංවිධානයේ ඉහළ ම තලයේ වෙනස්කම් පිළිබඳ කටකතා - ඔඩු දිවීමට තවත් රුකුලක් විය.
එය බීබීසීය විසින් ඍජුව ම ප්‍රශ්න කරන ලද විට පවා තාලිබාන් නායකත්වය සැමවිට ම ප්‍රතික්ෂේප කර ඇති භේදයකි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නමුත් මෙම කටකතා බීබීසීයේ ඇෆ්ගන් සේවයට මෙම අතිශය රහසිගත කණ්ඩායම පිළිබඳව වසරක් පුරා විමර්ශනය කිරීමට හේතුවක් විය. එහිදී තාලිබාන් සංවිධානයේ වත්මන් සහ හිටපු සාමාජිකයින් මෙන් ම දේශීය මූලාශ්‍ර, විශේෂඥයින් සහ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සම්මුඛ සාකච්ඡා 100කට වඩා පැවැත්වීය.
මෙම පුවතේ ඇති සංවේදීතාව මුල් කර ගෙන, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ නම් හෙළිදරව් නොකිරීමට බීබීසී එකඟ විය.
දැන්, පළමු වතාවට, තාලිබාන් සංවිධානයේ ඉහළ ම ස්ථානයේ සිටින එකිනෙකට වෙනස් අදහස් ඇති කණ්ඩායම් දෙකක් ගෙන හැර දැක්වීමට අපට හැකි වී තිබේ - ඒ සෑම කණ්ඩායමක් ම ඇෆ්ගනිස්ථානය සඳහා වන තරගකාරී දැක්මක් ඉදිරිපත් කරයි.
ඉන් එකක්, ඇෆ්ගනිස්ථානය නූතන ලෝකයෙන් හුදකලා වූ ඉතා දැඩි, ඉස්ලාමීය රාජ්‍යයක් කරා ගෙන යමින් සිටින, හිබාතුල්ලා අඛුන්ද්සාදාට මුළුමනින් ම පක්ෂපාතී කන්දහාර් පදනම් කරගත් කණ්ඩායමයි. ඒ තුළ ඔහුට පක්ෂපාතී ආගමික නායකයින් පමණක් සමාජයේ සියලු අංශ පාලනය කරයි.
දෙවැන්න, කාබුල් අගනුවර ප්‍රධාන වශයෙන් පදනම් වී සිටින බලවත් තාලිබාන් සාමාජිකයින්ගෙන් සමන්විත, ඉස්ලාමයේ දැඩි අර්ථකථනයක් අනුගමනය කරන අතර ම, බාහිර ලෝකය සමග සම්බන්ධ වෙමින්, රටේ ආර්ථිකය ගොඩනගන සහ දැනට තහනම් කර ඇති, ගැහැනු දරුවන්ට සහ කාන්තාවන්ට ප්‍රාථමික අධ්‍යාපනයෙන් ඔබ්බට අධ්‍යාපනය ලැබීමේ අයිතියට පවා ඉඩ දෙන ඇෆ්ගනිස්ථානයක් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමයි.
එක් අභ්‍යන්තර පුද්ගලයෙක් එය විස්තර කළේ "කන්දහාර් එදිරිව කාබුල්" ලෙසයි.
නමුත් ප්‍රශ්නය නම්, තාලිබාන් කැබිනට් අමාත්‍යවරුන්, බලවත් සටන්කාමීන් සහ දහස් ගණනක් තාලිබාන් පක්ෂපාතීන්ගේ සහය ලබන බලපෑම්සහගත ආගමික විද්වතුන්ගෙන් සැදුම්ලත් කාබුල් කණ්ඩායම, අඛුන්ද්සාදාගේ ප්‍රකාශයෙන් ඇඟවුණු පරිදි, වඩ වඩාත් ඒකාධිපති පාලකයෙකු ලෙස ගොඩනැගෙන ඔහුට කිසියම් අර්ථවත් ආකාරයකින් අභියෝග කරයි ද යන්නයි.
අනෙක් අතට තාලිබාන් සංවිධානයට අනුව, අඛුන්ද්සාදා කණ්ඩායමේ පූර්ණ බලය හිමි පාලකයා වේ. ඔහු අල්ලා දෙවියන්ට පමණක් වගකිව යුතු මිනිසෙකු මිස, වෙනත් කිසිවෙකුට අභියෝග කළ හැකි අයෙකු නොවේ.
ඉන් පසු, රටේ බලවත් ම නායකයින් අතර පැවති නිහඬ ගැටුම ප්‍රබල මත ගැටුමක් බවට පත් කරන තීරණයක් පැමිණියේ ය.
පසුගිය සැප්තැම්බර් අගදී, අඛුන්ද්සාදා අන්තර්ජාලය වසා දමා සහ දුරකතන ක්‍රියාවිරහිත කරන ලෙස නියෝග කළේ, ඇෆ්ගනිස්ථානය ලෝකයෙන් හුදෙකලා කරමිනි.
ඉන් දින තුනකට පසු අන්තර්ජාලය නැවත සක්‍රීය වූ අතර එයට හේතුව පැහැදිලි නොකෙරිණි.
නමුත් තිරය පිටුපස සිදුවූ දෙය කම්පනසහගත බව අභ්‍යන්තර සාමාජිකයෝ පවසති. කාබුල් කණ්ඩායම අඛුන්ද්සාදාගේ නියෝගයට පටහැනිව ක්‍රියා කර අන්තර්ජාලය නැවත ක්‍රියාත්මක කර තිබිණි.
"අනෙක් ඇෆ්ගන් පක්ෂයක් හෝ කණ්ඩායමක් වගේ නෙවෙයි, තාලිබාන් සංවිධානය සහජීවනය සම්බන්ධයෙන් ගත්තා ම කැපී පෙනෙනවා. කිසි ම බෙදීමක්, මතභේද නොතිබුණු තරම්," තාලිබාන් සංවිධානය ස්ථාපනය කෙරුණු වූ දා සිට ඔවුන් පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින, ඇෆ්ගනිස්ථානය පිළිබඳ විශේෂඥයෙක් පැහැදිලි කළේ ය.
"සංවිධානයේ මූලික රීතිය තමයි සිය උසස් නිලධාරීන්ට කීකරු වීම සහ අවසානයේ අමීර්ට [අඛුන්ද්සාදා] කීකරු වීම. ඔහුගේ පැහැදිලි නියෝගවලට පටහැනිව, අන්තර්ජාලය නැවත ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාව එතරම් අනපේක්ෂිත හා කැපී පෙනෙන දෙයක් බවට පත් වුණේ ඒ නිසායි," විශේෂඥයා පැවසීය.
තාලිබාන් සංවිධානයේ අභ්‍යන්තර සාමාජිකයෙකු පැවසූ පරිදි: මෙය කැරලි ගැසීමකට වඩා වඩා සුළු දෙයක් නොවේ.
දැඩි ආගමික ලැදියාවක් ඇති පුද්ගලයෙක්

හිබාතුල්ලා අඛුන්ද්සාදා තම නායකත්වය ආරම්භ කළේ මේ ආකාරයෙන් නොවේ.
ආරංචි මාර්ග පවසන්නේ, ඇත්ත වශයෙන් ම, සම්මුතියක් ගොඩනැගීමේ ඔහුගේ ප්‍රවේශය නිසා 2016දී ඔහු තාලිබාන් සංවිධානයේ උත්තරීතර නායකයා ලෙස තෝරා ගන්නා ලද බවයි.
යුද්ධ පිටියේ අත්දැකීම් නොමැති ඔහු සිරජුඩීන් හඛානි නමැති දෙවැනියෙකු පත් කර ගත්තේ ය. භායානක සහ බලවත් සටන්කාමියෙකු වන ඔහු එක්සත් ජනපදයට අවශ්‍ය ම පුද්ගලයෙකි. ඔහු සොයා දෙන්නෙකුට පිරිනැමෙන ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 10කි.
තාලිබාන් නිර්මාතෘ මුල්ලා ඕමාර්ගේ පුත්‍රයා වන මොහොමඩ් යාකූබ් මුජාහිඩ් දෙවන නියෝජ්‍ය නිලධාරියා ලෙස පත් කෙරිණි. ඔහු තරුණ වියේ පසුවන නමුත් ඔහු තාලිබාන් පරම්පරාවෙන් පැමිණෙන්නෙකු වීම ඔහුට එම සංවිධානය එක්සත් කිරීමේ හැකියාව රැගෙන ආවේ ය.
තාලිබාන් සටන්කරුවන් සහ එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා අතර වසර 20ක් පුරා පැවති යුද්ධය අවසන් කිරීම සඳහා වූ දෝහාහි වොෂින්ටනය සමග පැවති සාකච්ඡා පුරා ම මෙම නායකත්වය නොවෙනස්ව පැවතිණි. අවසානයේ 2020දී ඇති කරගත් ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස, තාලිබාන් සංවිධානය විසින් එකවර හා නාටකාකාර ලෙස රට නැවත අත්පත් කර ගැනීමටත්, 2021 අගෝස්තු මාසයේදී එක්සත් ජනපද හමුදා අවුල්සහගත ලෙස ඉවත් කර ගැනීමත් සිදු විය.

ඡායාරූප මූලාශ්‍රය, Los Angeles Times via Getty Images
බාහිර ලෝකයට ඔවුන් එක්සත් සංවිධානයක් විය.
නමුත් 2021 අගෝස්තු මාසයේදී තාලිබාන් රජය නැවත බලයට පත් වූ වහා ම ඔවුන් දෙදෙනා ම නිහඬව සාමාන්‍ය අමාත්‍ය තනතුරුවලට පහත දැමුවේ, අඛුන්ද්සාදා බලය හිමි එක ම තැනැත්තා බවට පත් කරමින් බව අභ්‍යන්තර සාමාජිකයෙක් බීබීසීයට පැවසීය.
එක්සත් ජනපදය සමග සාකච්ඡා මෙහෙයවූ තාලිබාන් සංවිධානයේ බලගතු සහ බලපෑම්සහගත සම-නිර්මාතෘ අබ්දුල් ඝනී බරාදර් පවා, බොහෝ දෙනා අපේක්ෂා කළ පරිදි අගමැති වෙනුවට නියෝජ්‍ය අගමැති තනතුරට පත් කෙරිණි.
ඒ වෙනුවට, අඛුන්ද්සාදා රජය ක්‍රියාත්මක වන අගනුවරින් බැහැරව තාලිබාන් සාමාජිකයින්ගේ බල කඳවුරක් වන කන්දහාර්හි රැඳී සිටීමට තෝරා ගත් අතර විශ්වාසවන්ත දෘෂ්ටිවාදීන් සහ දැඩි මතධාරීන් තමා වටා රැස් කර ගැනීම ඇරඹීය.
අනෙකුත් පක්ෂපාතීන් වෙත රටේ ආරක්ෂක හමුදා, ආගමික ප්‍රතිපත්ති සහ ආර්ථිකයේ කොටස්වල පාලනය ලබා දුන්නේ ය.
"[අඛුන්ද්සාදා] ආරම්භයේ ඉඳලා ම, තමාගේ ම ශක්තිමත් කන්ඩායමක් පිහිටුවාගන්න උත්සහ කළා," හිටපු තාලිබාන් සාමාජිකයෙක් [පසුව ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු සහය ලත් රජයේ සේවය කළ] බීබීසීයට පැවසීය.
"මුලින් ඔහුට අවස්ථාව නොලැබුණත්, බලය ලැබුණු පසු, ඔහු දක්ෂ ලෙස ඒක සිදු කරන්න පටන් ගත්තා. ඔහුගේ අධිකාරිය සහ තනතුර පාවිච්චි කරමින් ඔහු ඔහුගේ කවය පුළුල් කර ගත්තා."

කාබුල්හි තාලිබාන් අමාත්‍යවරුන්ගෙන් උපදෙස් නොගෙන සහ ගැහැනු දරුවන්ට අධ්‍යාපනයට ප්‍රවේශය ලබා දීම වැනි කාරණා සම්බන්ධයෙන් ඔවුන් බලයට පත්වීමට පෙර දුන් මහජන පොරොන්දු නොසලකා හරිමින් නියෝග ප්‍රකාශයට පත් කිරීමට පටන් ගත්හ. අධ්‍යාපනය තහනම් කිරීම සහ කාන්තාවන් රැකියාවල නිරත වීම, කණ්ඩායම් දෙක අතර "ආතතියේ ප්‍රධාන මූලාශ්‍රවලින්" එකක් ලෙස පවතින බව, එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ ආයතනයක් විසින් ආරක්ෂක මණ්ඩලයට දෙසැම්බර් මාසයේදී යවන ලද ලිපියක සඳහන් විය.
මේ අතර, තවත් අභ්‍යන්තර සාමාජිකයෙකු බීබීසීයට පැවසුවේ, 1990 දශකයේ තාලිබාන් ෂරියා අධිකරණවල විනිසුරුවරයෙකු ලෙස කටයුතු ඇරඹි අඛුන්ද්සාදා, ඔහුගේ ආගමික විශ්වාසයන් තුළ "තව තවත් දැඩි" වෙමින් සිටින බවයි.
අඛුන්ද්සාදාගේ දෘෂ්ටිවාදය ඒ වන විටත් කෙතරම් දැඩිව තිබුණේ ද යත්, 2017දී ඔහුගේ පුත්‍රයාගේ මරණයෙන් පසු තාලිබාන් නිලධාරීන් දෙදෙනෙකුට අනුව, ඔහු තම පුතා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වීමට තෝරා ගැනීම දැන සිටියා පමණක් නොව එය අනුමත කළේ ය.
වැරදි තීරණයක් ගැනීම ඔහුගේ ජීවිත කාලයෙන් ඔබ්බට පවා බලපෑම් ඇති කළ හැකි බව ඔහුට ඒත්තු ගොස් ඇති බව බීබීසීයට පැවසිණි.
"ඔහු ගන්නා සෑම තීරණයකදී ම ඔහු පවසන්නේ: මම අල්ලාහ්ට වගකිව යුතුයි, විනිශ්චය දිනයේදී, මම ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයි ද යන්න මගෙන් ප්‍රශ්න කෙරේවි," වත්මන් තාලිබාන් රජයේ නිලධාරියෙක් පැහැදිලි කළේ ය.
අඛුන්ද්සාදා සමග රැස්වීම්වලට සහභාගී වූ පුද්ගලයින් දෙදෙනෙකු බීබීසීයට විස්තර කළේ, යාන්තමින් කතාබහ කළ, ප්‍රධාන වශයෙන් අභිනයන් හරහා සන්නිවේදනය කිරීමට තෝරා ගත්, කාමරයේ සිටි වැඩිහිටි පූජකවරුන් කණ්ඩායමක් හරහා අර්ථය පැහැදිලි කළ මිනිසෙකු හමුවූ ආකාරයයි.
ඇසින් දුටු අනෙක් සාක්ෂිකරුවන් පැවසුවේ, පොදු ස්ථානවලදී ඔහු තම මුහුණ සඟවා ගන්නා බවයි. ඔහුගේ තලප්පාවා වටා ඇති රෙදි කඩකින් ඔහු ඇස් වසා ගන්නා බවත්, ජනතාව අමතන විට බොහෝ විට එක් පසෙකට හැරී එය සිදු කළ බවත් ය. අඛුන්ද්සාදාගේ ඡායාරූප ගැනීම හෝ රූගත කිරීම තහනම් ය. දන්නා පරිදි ඔහුගේ ඡායාරූප ඇත්තේ දෙකක් පමණි.
ඔහු හමුවීමට වේලාවක් වෙන් කර ගැනීම ද වඩ වඩාත් දුෂ්කර කාර්යයකි. තවත් තලේබාන් සාමාජිකයෙකු බීබීසීයට පැවසුවේ, අඛුන්ද්සාදා "නිතිපතා හමු" පැවැත්වූ බවත්, දැන් "බොහෝ තාල්බාන් ඇමතිවරුන් [ඒ සඳහා] දින ගණන් හෝ සති ගණන් බලා සිටින" බවත්ය. තවත් මූලාශ්‍රයක් බීබීසීයට පැවසුවේ, කාබුල්හි සිටින අමාත්‍යවරුන්ට "නිල ආරාධනයක් ලැබුණහොත් පමණක් කන්දහාර් වෙත පැමිණෙන ලෙස" දැනුම් දී ඇති බවයි.
ඒ සමග ම, අඛුන්ද්සාදා ඔහුගේ හිටපු නියෝජිතයන් වූ හඛානි සහ යාකූබ්ගේ පාලනය යටතේ පැවති ආයුධ බෙදා හැරීම ඇතුළුව ප්‍රධාන දෙපාර්තමේන්තු කන්දහාර් වෙත ගෙන යමින් සිටියේ ය.
එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ කණ්ඩායම දෙසැම්බර් මාසයේ සිය ලිපියේ සඳහන් කළේ, අඛුන්ද්සාදාගේ "බලය ශක්තිමත් කර ගැනීමේ ක්‍රියාවලියට කන්දහාර්හි ඍජු පාලනය යටතේ ආරක්ෂක හමුදා අඛණ්ඩව ගොඩනැගීම ද ඇතුළත් වී ඇති" බවයි.
කාබුල්හි ඇමතිවරුන් මග හරිමින්, අඛුන්ද්සාදා ප්‍රාදේශීය පොලිස් ඒකක වෙත ඍජු නියෝග නිකුත් කරන බව වාර්තාවලින් පෙනී යයි.
එක් විශ්ලේෂකයෙකු තර්ක කරන්නේ, "සැබෑ අධිකාරිය කන්දහාර් වෙත මාරු කර ඇති" බවයි. එය තාලිබාන් ප්‍රකාශක, සබිහුල්ලා මුජාහිඩ් බීබීසීය කළ විමසීමකදී ප්‍රතික්ෂේප කළ දෙයකි.
"සියලු ම අමාත්‍යවරුන්ට ඔවුන්ගේ අමාත්‍යංශ රාමුව තුළ ඔවුන්ට හිමි බලය තිබෙනවා, දෛනික කටයුතු භාර ගනිමින් සහ තීරණ ගනිමින් වැඩ කරන්න - සියලු බලතල ඔවුන්ට පවරලා තියෙනවා වගේ ම ඔවුන් තමන්ගේ රාජකාරි ඉටු කරනවා," ඔහු පැවසීය.
කෙසේ වෙතත්, "ෂරියා දෘෂ්ටිකෝණයකින් බලද්දී, ඔහුට [අඛුන්ද්සාදා] පූර්ණ බලය තියෙනවා.", මුජාහිඩ් තවදුරටත් පැවසුවේ - "දෙවියන් වහන්සේ විසින් තහනම් කරන ලද බෙදීම වළක්වා ගැනීම සඳහා, ඔහු ගන්න තීරණය තමයි අවසාන තීරණය," යනුවෙන් ද පවසමිනි.
'ලෝකය දැක ඇති' පිරිමින්
කාබුල් කණ්ඩායම අතර, අසතුට වර්ධනය වෙමින් පැවති අතර සන්ධානගත වීම ශක්තිමත් වෙමින් පැවතිණි.
"ඔවුන් [කාබුල් කණ්ඩායම] ලෝකය දැකපු අය," එක් විශ්ලේෂකයෙක් බීබීසීයට පැවසීය. "එබැවින්, ඔවුන්ගේ රජය එහි වර්තමාන ස්වරූපයෙන් පැවතිය නොහැකි බව ඔවුන් විශ්වාස කරනවා."
කාබුල් කණ්ඩායමට අවශ්‍ය වන්නේ, ගල්ෆ් රාජ්‍යයක ආකෘතිය කරා ගමන් කරන ඇෆ්ගනිස්ථානයක් දැකීමයි.
කන්දහාර්හි බලය සංකේන්ද්‍රණය වීම, සදාචාර නීතිවල ස්වභාවය සහ ක්‍රියාත්මක කිරීම, තාලිබාන් සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාව සමග සම්බන්ධ විය යුතු ආකාරය සහ කාන්තා අධ්‍යාපනය සහ රැකියා පිළිබඳව ඔවුහු සැලකිලිමත් වෙති.

නමුත් ඇෆ්ගන් කාන්තාවන්ට වැඩි අයිතිවාසිකම් ලබා දීම වෙනුවෙන් පෙනී සිටිය ද, කාබුල් කණ්ඩායම මධ්‍යස්ථ ලෙසද විස්තර නොකෙරේ.
ඒ වෙනුවට, අභ්‍යන්තර සාමාජිකයින් ඔවුන්ව දකින්නේ "ප්‍රායෝගික" පුද්ගලයින් ලෙසයි. ඔවුන්ට නිල නොවන ලෙස නායකත්වය දෙනු ලබන්නේ තාලිබාන් ආරම්භක සාමාජික බරාදර් විසිනි. ඔහු තවමත් ආධාරකරුවන් විශාල පිරිසකගේ සහය ඇති සාමාජිකයෙකි.
කාබුල් කණ්ඩායමේ ස්ථාවරය වෙනස් වීම අවධානයට ලක් නොවී නැත.
"අපිට මතකයි ඔවුන් [කාබුල් පදනම් කරගත් තාලිබාන් නායකයින්] රූපවාහිනී යන්ත්‍ර විනාශ කරපු විදිහ, නමුත් දැන් ඔවුන් ම රූපවාහිනියේ පෙනී සිටිනවා," එක් විශ්ලේෂකයෙක් පැවසීය.
ඔවුන්ට සමාජ මාධ්‍යවල ඇති බලය ගැන ද අවබෝධයක් පවතී.
හිටපු නියෝජ්‍ය පාලකයෙකු වන යාකූබ් තරුණ තාලිබාන් සාමාජිකයින් සහ ඇතැම් සාමාන්‍ය ඇෆ්ගනිස්ථානුවන් අතර ඉතා ජනප්‍රිය වෙමින් පවතින බව ටික්ටොක් වීඩියෝ සහ ඔහුගේ මුහුණ සහිත වෙළෙඳ භාණ්ඩ මගින් පැහැදිලි වේ. කෙසේ වෙතත්, ඔහුගේ පියා නායකත්වය දුන් පළමු තාලිබාන් පාලනය අතරතුර සංගීතය සහ රූපවාහිනිය තහනම් විය.
නමුත් ඔහුගේ හිටපු නියෝජ්‍ය සගයා වන සිරජුඩීන් හඛානි තරම් තමා නැවත සන්නාමගත කිරීමේදී සාර්ථක වූ කිසිවෙකු නැත. ඔහුගේ ජාලය ඇෆ්ගන් යුද්ධයේදී එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදාවන්ට එරෙහිව වඩාත් මාරාන්තික සහ නවීන ප්‍රහාර කිහිපයක් මෙහෙයවමින් සිටියදී ඔවුන්ගේ ග්‍රහණයට නතු වීමෙන් වැළකී සිටීමට ඔහුට තිබූ හැකියාව - 2017දී කාබුල්හි ජර්මානු තානාපති කාර්යාලය අසල සිවිල් වැසියන් 90කට වැඩි පිරිසක් මරා දැමූ ට්‍රක් බෝම්බ ප්‍රහාරය ඇතුළුව - ආධාරකරුවන් අතර ඔහු මිථ්‍යා තත්ත්වයකට ආසන්න තත්ත්වයකට ඔසවා තැබීය.
මේ කාලය තුළ, දන්නා පරිදි පැවතියේ බීබීසී ඇෆ්ගන් මාධ්‍යවේදියෙකු විසින් ගන්නා ලද ඔහුගේ එක් ඡායාරූපයක් පමණි.

ඡායාරූප මූලාශ්‍රය, FBI
නමුත් පසුව, එක්සත් ජනපදය ඉවත් වීමෙන් මාස හයකට පසු, කාබුල්හි පොලිස් නිලධාරීන්ගේ උපාධි ප්‍රදානෝත්සවයේදී හඛානි කැමරා ඉදිරිපිටට පැමිණියේ ඔහුගේ මුහුණ ලොවට නිරාවරණය කරමිනි.
එය නව ප්‍රතිරූපයක් කරා යන පළමු පියවර විය: ඔහු තවදුරටත් සටන්කාමියෙකු නොව, රාජ්‍ය තාන්ත්‍රිකයෙකි - 2024දී නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත ඔහු සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ ප්‍රශ්න කෙරිණි: ඔහු ඇෆ්ගනිස්ථානයේ වෙනසක් සඳහා ඇති හොඳ ම බලාපොරොත්තුව ද?
මාස කිහිපයකට පසු, FBI ආයතනය නිහඬව ම ඔහු වෙනුවෙන් පිරිනමන බව පැවසූ ඩොලර් මිලියන 10ක ත්‍යාග මුදල අවලංගු කෙරිණි.
එහෙත් විශ්ලේෂකයින් සහ අභ්‍යන්තර සාමාජිකයින් බීබීසීයට නැවත නැවතත් පැවසුවේ, උත්තරීතර නායක අඛුන්ද්සාදාට එරෙහිව විවෘතව කටයුතු කිරීම අපහසු බවයි.
ඔහුගේ ආඥාවන්ට එරෙහි වඩාත් ම දෘශ්‍යමාන විරෝධය සුළු හා සීමිත වූ බවට තර්ක කළ හැකි ය - නිදසුනක් ලෙස කාබුල් කණ්ඩායමට පක්ෂපාති නිලධාරීන් විසින් පාලනය කරනු ලබන ප්‍රදේශවල රැවුල කැපීම තහනම් කිරීම වැනි රෙගුලාසි ක්‍රියාත්මක නොකිරීම දැක්විය හැකියි. නමුත් ප්‍රබල කැරලිකාර ක්‍රියා සැමවිට ම සිතාගත නොහැකි දෙයක් ලෙස සැලකිණි.
"[අඛුන්ද්සාදා]ට කීකරු වීම අනිවාර්ය දෙයක් ලෙස සලකනු ලබන" බව හිටපු තාලිබාන් සාමාජිකයෙක් බීබීසීයට අවධාරණය කළේ ය.
නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී පවා හඛානි, විවෘත භේදයක් ඇති බවක් එතරම් නොහැඟවීය. "සාමකාමී රටක් ඇති කර ගැනීමට ඇෆ්ගනිස්ථානයට එක්සත්කම මේ වෙනකොට වැදගත්," ඔහු පැවසීය.
ඒ වෙනුවට, එක් විශ්ලේෂකයෙකු පැවසුවේ, කාබුල් කණ්ඩායම "ජාත්‍යන්තර ප්‍රජාවට සහ ඇෆ්ගනිස්ථානුවන්ට පණිවිඩයක්" යැවීමට තෝරාගෙන ඇති බවයි, එහි සඳහන් වන්නේ: "ඔබේ චෝදනා සහ කණස්සල්ල ගැන අපි දන්නවා, ඒත් අපිට කරන්න පුළුවන් මොකක් ද?"
අවම වශයෙන්, අන්තර්ජාලය අවහිර කිරීමේ නියෝගය පැමිණීමට පෙර එය එසේ විය.
සීමා බිඳ යාම

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
තාලිබාන් සංවිධානයේ උත්තරීතර නායකයා අන්තර්ජාලය කෙරෙහි දැඩි අවිශ්වාසයක් ඇති මිනිසෙකි; එහි අන්තර්ගතයන් ඉස්ලාමීය ඉගැන්වීම්වලට පටහැනි බවට ඔහු විශ්වාස කරන අතර, එය කෙතරම් ද යත් සහයකයෙකු සෑම උදෑසනක ම ඔහුට නවතම පුවත් හෝ සමාජ මාධ්‍ය සටහන් කියවන බව ඔහුගේ ප්‍රකාශකයා වරක් බීබීසීයට පැහැදිලි කළේ ය.
නූතන රටකට එය නොමැතිව පැවතිය නොහැකි බව කාබුල් කණ්ඩායම විශ්වාස කරයි.
උත්තරීතර නායකයාගේ අන්තර්ජාලය අවහිර කිරීමේ නියෝගය අඛුන්ද්සාදාගේ ආධාරකරුවන් විසින් පාලනය කරන ලද පළාත්වල ආරම්භ වූ අතර පසුව එය මුළු රටට ම ව්‍යාප්ත විය.
කාබුල් කණ්ඩායමට සමීප සහ තාලිබාන් රජය තුළ සිටින මූලාශ්‍ර ඊළඟට සිදු වූ දේ විස්තර කළහ - එය තාලිබාන් ඉතිහාසයේ පෙර නොවූ විරූ මොහොතකි.
"ඒක සංවිධානයේ බොහෝ දෙනෙක් පුදුමයට පත් කළා," එක් මූලාශ්‍රයක් පැවසීය.
කෙටියෙන් කිවහොත්, කාබුල් කණ්ඩායමේ බලවත් ම ඇමතිවරුන් එකතු වී කාබුල්හි අගමැති මුල්ලාහ් මොහොමඩ් හසන් අකුන්ද්ට එය නැවත ක්‍රියාත්මක කිරීමට නියෝග කිරීමට ඒත්තු ගැන්වූහ.
සත්‍ය වශයෙන් ම, රට පුරා අන්තර්ජාල සබඳතා අවහිර කිරීමට පෙර සිට ම එම කණ්ඩායම එම නියෝගය පිළිබඳ තම නොසතුට ප්‍රකාශ කර තිබිණි: කණ්ඩායමේ නිල නොලත් නායක බරාදර්, අඛුන්ද්සාදාගේ වඩාත් ම පක්ෂපාතී පාලකයෙකුට "ඔහුව අවදි කළ යුතු" බවට අනතුරු ඇඟවීමට කන්දහාර් වෙත ගියේ ය - ඔවුන්ට උත්තරීතර නායකයා පවසන සියලු දෑට "ඔව්" යැයි පවසන මිනිසුන් වීම නැවැත්විය යුතු බව පැවසීය.
"ඔයාලා එයාට ඇත්ත විවෘතව කියන්නේ නැහැ; එයා කියන්නේ මොකක් ද, ඔයාලා ඔහේ ඒක කරනවා," යැයි ඔහු පැවසූ බව වාර්තා වූයේ පළාත් ආගමික නායකයින් කණ්ඩායමක් වන කන්දහාර් උලමා කවුන්සිලයේ සාමාජිකයෙකුගෙනි.
ඔහුගේ වචන ප්‍රතික්ෂේප කළ බව මූලාශ්‍රය පැවසීය. සැප්තැම්බර් 29 වන සඳුදා, සියල්ල අවහිර කරන ලෙස උත්තරීතර නායකයාගෙන් ඍජුව ම විදුලි සංදේශ අමාත්‍යංශයට නියෝගයක් ලැබිණි. "කිසි ම නිදහසට කරුණක්" පිළිගනු නොලැබේ, අමාත්‍යංශ ආරංචි මාර්ගයක් බීබීසීයට පැවසීය.
බදාදා උදෑසන, බරාදර්, හඛානි සහ යාකූබ් ඇතුළු කාබුල් කණ්ඩායමේ අමාත්‍යවරුන් පිරිසක් අගමැති කාර්යාලයට රැස් වූ අතර, විදුලි සංදේශ අමාත්‍යවරයා ද ඊට එක් විය. මෙහිදී, ඔවුහු කන්දහාර්-ගැති අගමැතිවරයාගෙන් බලය සියතට ගෙන නියෝගය ආපසු හරවන ලෙස ඉල්ලා සිටියහ. එක් මූලාශ්‍රයකට අනුව, සම්පූර්ණ වගකීම ඔවුන් සතු බව ඔවුහු ඔහුට පැවසූහ.
එය සාර්ථක විය. අන්තර්ජාල සබඳතා නැවත ස්ථාපනය විය.
නමුත් ඇතැම් විට වඩාත් වැදගත් දෙය නම්, එම දින කිහිපය තුළ, මාස කිහිපයකට පෙර අඛුන්ද්සාදා තම ප්‍රකාශයේදී ඉඟි කළ දේ සිදු වූවාක් මෙනි: එනම් අභ්‍යන්තර සාමාජිකයින් තාලිබාන් එක්සත්කමට තර්ජනය කරමින් සිටි බවට වූ ප්‍රකාශයයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
නමුත් මෙම නියෝගය? ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ආඥා වැනි නියෝගවලට එකඟ නොවුණත්, තාලිබාන් සාමාජිකයින් අඛුන්ද්සාදාගේ නියෝග තවදුරටත් පිළිපදින බව එක් විශේෂඥයෙක් පෙන්වා දෙයි.
මේ අතර, ඔහුට මීට පෙර විවෘතව අභියෝග කළ බොහෝ දෙනෙක් වන්දි ගෙවීමට සිදුවිය.
2025 පෙබරවාරි මාසයේදී, එවකට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාට රටින් පලා යාමට සිදු වූයේ, කාන්තා අධ්‍යාපන තහනම පිළිබඳව, "මිලියන 20ක ජනතාවට එරෙහිව අයුක්තිය සිදුකිරීමෙන්" නායකත්වය "දෙවියන්ගේ මාර්ගයෙන්" ඉවත් වන බව පවසමින් ප්‍රසිද්ධියේ අනතුරු ඇඟවීමෙන් පසුවය.
2025 ජූලි සහ සැප්තැම්බර් මාසවලදී, අඛුන්ද්සාදාගේ ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ නියෝග ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් අවම වශයෙන් තවත් දෙදෙනෙකු සිටින බව එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
නමුත් උත්තරීතර නායකයාගේ බලය ශක්තිමත් කර ගැනීම පිළිබඳව හඛානිගේ ප්‍රසිද්ධ විවේචන නොතකා, අඛුන්ද්සාදා සහ ඔහුගේ සගයන් හඛානි වැනි පුද්ගලයින් සමීපව තබා ගැනීමට පියවර ගන්නා බවට සාක්ෂි ද තිබේ.
එසේ වුව ද, වචනවලට සීමා නොවී ක්‍රියාවෙන් එය පෙන්වීම සහ නියෝගයක් විවෘතව නොසලකා හැරීම යන දෙක ම එකට ගත් තවත් බරපතළ පියවරක් ලෙස තර්ක කළ හැකිය.
එක් විශේෂඥයෙක් පෙන්වා දෙන පරිදි, මෙවර එම අවදානම ගැනීම වටිනවා විය හැකිය.
ඔවුන්ගේ තනතුරු බලය සහ "මුදල් ඉපැයීමේ හැකියාව" ලබා දෙන බව විශේෂඥයා පවසයි. නමුත් දෙදෙනා ම අන්තර්ජාලය මත රඳා පැවතුණ අතර, එය දැන් පාලනයට සහ ආර්ථිකය යන දෙකට ම තීරණාත්මක වේ.
"අන්තර්ජාලය අවහිර කිරීම ඔවුන්ගේ වරප්‍රසාදවලට තර්ජනයක් වුණා, වැඩිහිටි ගැහැනු දරුවන් අධ්‍යාපනයෙන් ඈත් කර තැබීම කිසි දා නොකළ ආකාරයට," විශේෂඥයා පෙන්වා දෙයි.
"සමහරවිට ඒ නිසා වෙන්න ඇති ඒගොල්ලෝ ඒ එක පාරක් හරි 'නිර්භීත' වුණේ."
අන්තර්ජාලය නැවත ක්‍රියාත්මක කිරීමෙන් පසු, ඊළඟට කුමක් සිදුවේ ද යන්න පිළිබඳව විවිධ මත පැතිර ගියේ ය.
කාබුල් කණ්ඩායමට සමීප මූලාශ්‍රයක් යෝජනා කළේ, අමාත්‍යවරුන් සෙමෙන් ඉවත් කරනු ඇති හෝ ඔවුන්ට පහළ තනතුරු ලබා දෙනු ඇති බවයි.
කෙසේ වෙතත්, කන්දහාර් උලමා කවුන්සිලයේ සාමාජිකයෙකු යෝජනා කළේ, "ඔහු එවැනි විරෝධයකට බිය වන නිසා" පසුබැස ගියේ උත්තරීතර නායකයා විය හැකි බවයි.
වසර අවසානය කරා ළඟා වන විට, කිසිවක් වෙනස් වී නැති බව ප්‍රසිද්ධියේ පෙනෙන්නට තිබිණි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යවන ලද ලිපියේ සඳහන් වූයේ, එක්සත් ජාතීන්ගේ ඇතැම් සාමාජික රටවල් "කන්දහාර් සහ කාබුල්හි නායකයින් අතර බෙදීම පවුල් ආරවුලකට සමාන ලෙස අවතක්සේරු කර ඇති අතර එය පවතින තත්ත්වය වෙනස් නොකරන බවයි; සියලු ම ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ අවශ්‍යතාව තාලිබාන් සංවිධානයේ සාර්ථකත්වයයි."
තාලිබාන් රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක සබියුල්ලා මුජාහිඩ් කිසිදු භේදයක් ඇති බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
"අපි කවදාවත් බෙදීමට ඉඩ දෙන්නේ නැහැ," ඔහු 2026 ජනවාරි මස මුලදී බීබීසීයට පැවසීය. "බෙදීමක් සැමට හානිකර විය හැකි බව සියලු නිලධාරීන් සහ නායකත්වය දන්නවා, ඇෆ්ගනිස්ථානයට, ඒක ආගමික වශයෙන් තහනම් වගේ ම අල්ලාහ් විසින් තහනම් කර තිබෙනවා."
කෙසේ වෙතත්, තාලිබාන් සාමාජිකයන් අතර "මතයේ" වෙනස්කම් පවතින බව ඔහු පිළිගත් නමුත්, එය "පවුලක මතභේදයකට" සමාන කළේ ය.
දෙසැම්බර් මාසයේ මැද භාගයේදී, එම "වෙනස්කම්" නැවත වරක් මතුවීමට පටන් ගත්තේය.
හඛානි සිකුරාදා යාච්ඥා අතරතුර ඔහුගේ උපන් පළාත වන කොස්ට්හි ජනකායක් අමතමින් සිටින අයුරු රූගත කර තිබුණු අතර, එහිදී ඔහු "ජාතියේ විශ්වාසය, ආදරය සහ ආගම හරහා බලයට පැමිණ, පසුව එම ජාතිය ම අතහැර දමන හෝ අමතක කරන ඕනෑ ම අයෙකු... රජයක් නොවන" බවට අනතුරු ඇඟවීය.
එදින ම, අඛුන්ද්සාදාට පක්ෂපාතී නෙදා මොහොමඩ් නදීම් - උසස් අධ්‍යාපන අමාත්‍ය - අසල්වැසි පළාතක මද්‍රසාවක උපාධිධාරී සිසුන් අමතමින් කතාවක් කළේ ය.
"නායකත්වය දෙන්නේ එක් අයෙක් පමණයි, ඉතිරි අය නියෝග පිළිපදිනවා, මේක තමයි සැබෑ ඉස්ලාමීය ආණ්ඩුව," ඔහු පැවසීය. "නායකයින් ඕනෑවට වඩා සිටියහොත් ගැටලු මතු වෙනවා වගේ ම අප අත්පත් කරගත් මෙම රජය විනාශ වෙනවා."
අන්තර්ජාලය පිළිබඳ ආරවුලෙන් පසුව, මෙම මෑත කාලීන අදහස් 2025 ආරම්භයේදී ප්‍රසිද්ධ කෙරුණු හඬ පටයේ අඛුන්ද්සාදා විසින් දක්වන ලද අදහස්වලට වඩා බෙහෙවින් වෙනස් පසුබිමක් සකසා ඇත.
එහෙත් 2026 වසර ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ පිරිමින් සඳහා අර්ථවත් වෙනසක් ඇති කිරීමට කාබුල් කණ්ඩායම පියවර ගන්නා වසර වනු ඇති ද යන්න තවමත් විවාදයට තුඩු දී තිබේ.
"හැමදාමත් වගේ... එමිරේට්ස්හි ඉහළ ම ස්ථරය තුළ ඇති වූ පැහැදිලි අසම්මුතියෙන් පසුවත් ප්‍රශ්නය ඉතිරිව පවතීවි - වචන කවදා හෝ ක්‍රියාවට මග පාදයි ද?" එක් විශේෂඥයෙක් පවසයි.
සියා ෂරෙයාර්, ෆ්ලෝරා ඩ්‍රූරි සහ බීබීසී ඇෆ්ගන් වෝහාරික කණ්ඩායම විසින් ලියා සංස්කරණය කරන ලද්දකි.










