ඉන්දියාවේදී මාධ්‍යවේදිනියන්ට 'දොරවැසූ' තාලිබාන් විදේශ ඇමති විරෝධය හමුවේ දෙවන මාධ්‍ය හමුවට මාධ්‍යවේදිනියන් කැඳවයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, ගීතා පාණ්ඩේ
- Role, බීබීසී පුවත්, දිල්ලි
ඡායාරූපයකට දහසක් දෑ පැවසිය හැකි බවට සාමාන්‍ය කියමනක් පවතී.
සඳුදා උදෑසන ඉන්දීය පුවත්පත්වල පළවූ දිල්ලියේ පැවති ඇෆ්ගන් තාලිබාන් විදේශ අමාත්‍යවරයාගේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියන් පිරිසක් ඉදිරි පෙළ අසුන්ගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූපය නිසැකව ම එවැන්නකි.
අමීර් ඛාන් මුට්ටකී විසින් පැය 48ක් තුළ ඇෆ්ගන් තානාපති කාර්යාලය තුළ පවත්වන ලද දෙවන මාධ්‍ය හමුව කැඳවා තිබුණේ සිකුරාදා පැවති ඔහුගේ පළමු මාධ්‍ය හමුවෙන් කාන්තාවන් බැහැර කිරීම සම්බන්ධයෙන් ඇති වූ විශාල කැළඹීමෙන් පසුව ය.
මුට්ටකී ඉරිදා සමුළුවේදී පැවසුවේ මාධ්‍ය හමුවෙන් කාන්තාවන් බැහැර කිරීම නොදැනුවත්ව ම සිදු වූවක් බව සහ "හිතාමතා" සිදු කරන ලද්දක් නොවන බව ය.
"[සිකුරාදා] මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ගත්තා ම ඒක කෙටි දැනුම් දීමක් මත සිද්ධ වුණේ. මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් සහභාගී කර ගන්න විතරයි තීරණය කරලා තිබුණේ. නිශ්චිත පිරිසක් තමයි සහභාගී කරවා ගත්තේ.
"ඒක ඇත්තට ම තාක්ෂණික ගැටලුවක්... අපේ සගයන් මාධ්‍යවේදීන් නිශ්චිත පිරිසකට විතරක් ආරාධනාවක් යොමු කිරීමට තීරණය කර තිබුණා, මෙය හැර වෙනත් කිසිදු අරමුණක් තිබුණේ නැහැ," ඔහු තවදුරටත් පැවසුවේ ය.
කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට ද්විතීයික පාසලකට හෝ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට, උද්‍යානවලට හෝ ව්‍යායාම ශාලාවලට යාමට අවසර හිමි නොවන ඇෆ්ගනිස්ථානය තුළ පවතින තත්ත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය "ස්ත්‍රී පුරුෂ භේදවාදය" ලෙස හඳුන්වා තිබේ. ඔවුන්ට ඇති රැකියා අවස්ථා දැඩිව සීමා කර ඇති අතර තාලිබාන් රජය හිසේ සිට දෙපතුල දක්වා ආවරණ කරගෙන සිටීම බලාත්මක කර ඔවුන්ගේ ගමන්බිමන් ද සීමා කර ඇත.
2021 වසරේදී නැවත බලයට පත් වූ තාලිබාන් රජය, ඇෆ්ගන් සංස්කෘතිය සහ ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණයට අනුකූලව කාන්තා අයිතිවාසිකම්වලට ගරු කරන බව මීට පෙර පවසා තිබූ නමුත් බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයින් පවසා ඇත්තේ කාන්තාවන්ට පනවා ඇති සීමා කිරීම් හමුවේ පිළිගැනීමක් ලබා ගැනීමට ඔවුන් දරන උත්සාහයන්ට බාධා එල්ල වී ඇති බව ය. ඔවුන්ගේ පාලනය යටතේ කාන්තා අයිතිවාසිකම් මර්දනය කිරීම ලෝකයේ දරුණුතම දෙයකි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මුට්ටකී බ්‍රහස්පතින්දා ඉන්දියාවට පැමිණියේ එරට රජය සමග සතියක ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීම සඳහා වන අතර ඒ, මේ දක්වා ඔවුන්ගේ රජය සම්පූර්ණයෙන් පිළිගෙන ඇති එක ම රට වන රුසියාවේ සිට ය.
ඉන්දීය රජය ඇෆ්ගනිස්ථානයේ නිල නොවන මෙම පාලනය නිල වශයෙන් පිළිගෙන නැති නමුත් එය ඔවුන් සමග යම් ආකාරයක රාජ්‍ය තාන්ත්‍රික හෝ අවිධිමත් සබඳතා පවත්වා ගෙන යන රටවල් රැසකින් එකක් වේ. ඉන්දියාව කාබුල්හි කුඩා පරිමාණයේ මෙහෙයුම් කාර්යාලයක් පවා පවත්වා ගෙන යන අතර ඔවුන්ට මානුෂීය ආධාර ලබා දීම ද සිදු කරයි.
මෙම සංචාරය දෙරට අතර සබඳතා තීව්‍ර කිරීමක් ලෙස සලකනු ලබන අතර එය දෙපාර්ශවයට ම වැදගත් වනු ඇත. එය ඉන්දියාවට සිය උපායමාර්ගික සහ ආරක්ෂක අවශ්‍යතා ඉදිරියට ගෙන යාමක් වන අතර තාලිබාන් රජය පිළිගැනීමක් සොයා යන ගමනට තල්ලුවකි. සිය සංචාරයේදී මුට්ටකී 2021දී තාලිබාන්වරුන් නැවත බලයට පත්වීමෙන් පසු වසා දැමූ කාබුල්හි සිය තානාපති කාර්යාලය ඉන්දියාව යළි විවෘත කරන බව නිවේදනය කළ විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ද හමුවිය.
ඉන් අනතුරුව කැඳවා තිබූ මාධ්‍ය හමුව සඳහා පිරිමි වාර්තාකරුවන් 16 දෙනෙකු පමණ සහභාගී වූ අතර මාධ්‍යවේදිනියන් තානාපති කාර්යාල පිවිසුම්වලදී හරවා යවා තිබිණි.
කාන්තාවන්ට ආරාධනා කර නොමැති බවට තාලිබාන් රජයේ නිලධාරියෙකු පිළිගෙන තිබිණි.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය (MEA) පැවසුවේ, එය ඇෆ්ගන් තානාපති කාර්යාලයේ පැවති බැවින් "මාධ්‍ය කටයුතු සඳහා මැදිහත් නොවූ" බව ය.
නමුත් ඉන්දීය භූමිය තුළදී ස්ත්‍රී පුරුෂ භේදය මත පදනම්ව වෙනස්කොට සැලකීමේ සිදුවීම සම්බන්ධයෙන් කෝපයට පත්වූ දේශපාලඥයෝ සහ මාධ්‍යවේදීහු එය සිදුවීමට ඉඩ ලබා දීම පිළිබඳ රජය විවේචනය කළහ.
විපක්ෂ නායක රාහුල් ගාන්ධි පැවසුවේ, මාධ්‍ය හමුව පවත්වාගෙන යාමට ඉඩ දීමෙන් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි "ඔවුන් වෙනුවෙන් නැගී සිටීමට තරම් ශක්තිමත් නැතැයි ඉන්දියාවේ සිටින සෑම කාන්තාවකට ම පෙන්වා දුන්" බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Indian Ministry of External Affairs / Handout via Getty Images
ඉන්දියාවේ කර්තෘ සංසදය, ඉන්දියානු කාන්තා මාධ්‍ය බලකාය (IWPC) සහ ඉන්දියාවේ මාධ්‍ය කාන්තා ජාලය (NWMI) යන සංවිධාන මෙම බැහැර කිරීම "ඉතා වෙනස් කොට සැලකීමක්" බව පවසමින් දැඩි ප්‍රකාශ නිකුත් කර තිබේ.
"රාජ්‍ය තාන්ත්‍රික පරිශ්‍රයන්ට වියානා සම්මුතිය යටතේ ආරක්ෂාව ඉල්ලා සිටිය හැකි නමුත්, ඉන්දියානු භූමිය තුළදී මාධ්‍ය ප්‍රවේශය සඳහා සිදුවූ අශෝභන ස්ත්‍රී පුරුෂ වෙනස්කම සාධාරණීකරණය කළ නොහැක," යනුවෙන් සංසදය පැවසීය.
"විදේශ කටයුතු අමාත්‍යංශය එම අවස්ථාව සම්බන්ධීකරණය කළ ද, නොකළ ද එවැනි වෙනස් කොට සැලකීමක් විරෝධතාවකින් තොරව ඉදිරියට ගෙන යාමට අවසර දීම විශාල වරදකි," එය තවදුරටත් පැවසීය.
"වැඩ කිරීමට සහ ජීවනෝපාය සඳහා ඇති අයිතිය ඇතුළුව කාන්තා පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ ව්‍යවස්ථාමය නිදහස ආරක්ෂා කිරීම" ඉන්දීය රජයේ වගකීම බවත්, එවැනි "අශෝභන ස්ත්‍රී පුරුෂ බව මත පදනම්ව වෙනස්කම් කිරීම" ප්‍රශ්න කළ යුතුව තිබූ බවත් ඉන්දියාවේ මාධ්‍ය කාන්තා ජාලය පැවසීය.
සිකුරාදා සමුළුවට සහභාගී වූ පිරිමි මාධ්‍යවේදීන් තම කාන්තා සගයන් වෙනුවෙන් පෙනී නොසිටීම සම්බන්ධයෙන් ද එම කණ්ඩායම විවේචන එල්ල කර තිබේ. "මෙවැනි අවස්ථාවලදී නිහඬව සිටීම ස්ත්‍රී පුරුෂ වෙනස්කම් කිරීම සාමාන්‍යකරණය කිරීමට සහය ලබා දීමක් ලෙස දැකිය හැකියි," ප්‍රකාශයේ දක්වා තිබේ.
ඉන්දියාව තුළ වර්ධනය වෙමින් පැවති කෝපය මධ්‍යයේ, මුට්ටකීගේ කණ්ඩායම ඉරිදා තවත් මාධ්‍ය හමුවක් සඳහා නව ආරාධනා යොමු කළ අතර, එය සියලු මාධ්‍යවේදීන් සඳහා විවෘත "සියලු ම දෙනාට සහභාගී විය හැකි" අවස්ථාවක් ලෙස විස්තර කර ඇත.
දෙවන මාධ්‍ය හමුවට මූලික වූයේ කුමක් ද යන්න පැහැදිලි නොමැති නමුත් නිල තහවුරු කිරීමක් නොමැති වුව ද, ඉන්දීය රජය ඊට මැදිහත්වන්නට ඇති බවට ඇතැම් අනුමාන පවතී.
මේ සඳහා බොහෝ දෙනෙකු සහභාගී වූ අතර, සිකුරාදා මාධ්‍ය හමුව කාන්තාවන්ට විවර නොවීමට හේතුව සහ ඇෆ්ගනිස්ථාන ගැහැනු දරුවන් සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව අමාත්‍යවරයා වෙත අසීරු ප්‍රශ්න යොමු විය.
"අපේ පාසල් සහ අධ්‍යාපන ආයතනවල සිසුන් මිලියන 10ක් ඉගෙන ගන්නවා. ඒ අතර කාන්තාවන් සහ ගැහැනු දරුවන් මිලියන 2.8කට වඩා ඉන්නවා. මද්‍රසාවල, උපාධිය දක්වා ඉගෙන ගන්න පුළුවන්," මුට්ටකී ප්‍රතිචාර දැක්වීය. "ඇතැම් සීමාවන් තිබෙනවා, නමුත් අපි කවදාවත් කාන්තා අධ්‍යාපනය ආගමික වශයෙන් හරාම් [තහනම්] ලෙස ප්‍රකාශ කරලා නැහැ, එය තවදුරටත් නියෝගයක් ලැබෙන තුරු පමණක් කල් දමා තිබෙනවා" ඔහු පැවසීය.
මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් 2021 සිට තලේබාන් සංවිධානය ගැහැනු දරුවන්ට සහ කාන්තාවන්ට පනවා ඇති සීමා පෙන්වා දෙමින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්න කළහ.
ගත වූ වසර හතර තුළ, වයස අවුරුදු 12ට වැඩි ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලැබීම තහනම් කර ඇති අතර කාන්තාවන්ට රැකියා සඳහා පවතින අවස්ථා දැඩි ලෙස සීමා කර ඇත. මෑත සතිවලදී, තාලිබාන් රජය ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාලවල තිබූ කාන්තාවන් විසින් රචිත කෘති ද ඉවත් කර ඇත.
ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දිගින් දිගට ම යොමු කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා දැක්වූ ප්‍රතිචාරය සතුටුදායක නොවන්නට ඇත. නමුත්, ඇතැම් මාධ්‍යවේදීන් පෙන්වා දුන් පරිදි, දෙවන මාධ්‍ය හමුව සංවිධානය කර තිබීම සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ යොමු කළ ප්‍රශ්න සඳහා අමාත්‍යවරයා පිළිතුරු ලබා දීම ප්‍රගතියක් ලෙස දැකිය හැකි ය.














