ඇෆ්ඝනිස්ථානයේ නව තාලිබාන් නීති අනුව කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථානවල කතා කිරීම සහ මුහුණු පෙන්වීම තහනම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, අලි හුසෙයිනි
- Role, බීබීසී පර්සියානු සේවය
"ගුණධර්ම වර්ධනය කිරීමට හා දුසිරිත් තුරන් කිරීමට," යනුවෙන් පවසමින්, පසුගිය සතියේ ඇෆ්ඝනිස්ථානයේ තාලිබාන් පාලනය විසින් හඳුන්වා දෙනු ලැබූ, නව නීතිවලට, කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවල ශබ්ද නගා කතා කිරීම සහ නිවසින් පිටතදී ඔවුන්ගේ මුහුණු පෙන්වීම තහනම් කිරීම ද ඇතුළත් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය "සිරිත් විරිත් සීමාකිරීම" සඳහා බව කියන නීතිය හෙළා දැක තිබෙන අතර, එම නීති බලාත්මක කිරීම පිළිබඳව අවධානයෙන් පසු වන බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලධාරියෙකු පසුගිය ඉරිදා අනතුරු ඇඟවූයේ, මෙම නව නීති "ඇෆ්ඝනිස්ථානයේ අනාගතයට ඛේදජනක ඉරණමක්" අත්කර දෙනු ඇති බවට ය.
තාලිබාන් සංවිධානයේ ආධ්‍යාත්මික නායකයා වන හයිබතුල්ලා අඛුන්සාදා මෙම නීතිය අනුමත කර තිබිණි.
මෙම නීතිවලින් රටේ කිසි ම අයෙකු නිදහස් නොවන බව, ගුණධර්ම ප්‍රචාරණ හා දුසිරිත් වැළක්වීමේ අමාත්‍යංශය ලෙස නිල වශයෙන් හඳුන්වන සදාචාර අමාත්‍යංශය අවධාරණය කළේ ය.
ඇෆ්ඝන් ජනතාව අඳින ඇඳුම් පැළඳුම්වල සිට, පොදු ස්ථානවල හැසිරෙන ආකාරය, කන බොන දේ මොනවා ද යන්න සෙවීම දක්වා ඔවුන්ගේ සමාජ ජීවිතයට මැදිහත්වීමට නව නීති මාලාව මගින් "මොහ්තසබීන්" (තලේබාන් සදාචාර පොලිසිය) වෙත ඉඩ දී තිබේ.
නව නීතියට අනුව, පොදු ස්ථානවල කාන්තාවන්ගේ කටහඬ "අශ්ශීල" ලෙස සලකනු ලැබේ. නව සීමාකිරීම් මෙසේ ය: "වැඩිහිටි කාන්තාවක් අවශ්‍යතාවකට නිවසින් බැහැර වන සෑම අවස්ථාවකදී ම ඇගේ කටහඬ, මුහුණ සහ ශරීරය ආවරණය කර ගැනීමට බැඳී සිටී."
අමාත්‍යංශය මේ වන විටත් ෂරියා නීතිය (ඉස්ලාම් ආගමික නීතිය) මත පදනම් වූ සදාචාරාත්මක අවශ්‍යතාවන්ට සමාන නීති ක්‍රියාත්මක කර ඇති අතර, ඊට අනුගත නොවුණු දහස් ගණනක් ජනතාව අත්අඩංගුවට ගෙන ඇතැයි එම අමාත්‍යංශය පවසයි.
තාලිබාන්වරුන්ට අනුව එම නීති, ෂරියා නීතිය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණය සමග අනුකූල වන අතර, 2022 වසරේදී තාලිබාන් ආධ්‍යාත්මක නායකයාගේ නියෝගයක් මත පදනම් වූ සහ වර්තමානයේ නිල වශයෙන් නීතියේ ප්‍රකාශයට පත්කර ඇති සදාචාර අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
කාන්තාවන් පිළිබඳව නීතිය පවසන්නේ මොකක්ද?

"පෙළඹීමක් හෝ අශ්ශීලකමකට පිරිමින් යොමු කිරීම වැළැක්වීමට," කාන්තාවන් ඔවුන්ගේ මුහුණු ඇතුළුව ශරීර සම්පූර්ණයෙන් ආවරණය කළ යුත්තේ කෙසේ දැයි නීතියේ සවිස්තරාත්මකව දක්වා තිබේ.
එය මෙසේ පවසයි:
- කාන්තාවක් ඇගේ සම්පූර්ණ ශරීරය ම ආවරණය කළ යුතු ය.
- "පෙළඹවීමට හේතුවක් වීම" වැළැක්වීමට කාන්තාවක් ඇගේ මුහුණ ආවරණය කළ යුතු ය.
- කාන්තාවකගේ කටහඬ "සැඟවිය යුතු" බව සැලකෙන අතර, එය ප්‍රසිද්ධ ස්ථානවල ශ්‍රවණය නොවිය යුතු ය. අවුරාහ් යන අරාබි වචනයෙන් සඳහන් කරන්නේ ශරීරයේ ආවරණය කළ යුතු කොටස් වේ. අවුරාහ් යනු කාන්තාවන් සහ පිරිමින් යන දෙපිරිසේ ම පොදු ස්ථානවල නොපෙනිය යුතු ශරීර කොටස් ය.
- නිවෙස් තුළ සිටියදී පවා, කාන්තාවන් හඬනගා ගීත ගායනා කිරීම හෝ කියවීම ශ්‍රවණය නොවිය යුතු ය.
- කාන්තාවන්ගේ ඇඳුම් තුනී, කොට හෝ තද නොවිය යුතුයි.
- ලේ නෑකමකට හෝ විවාහයට සම්බන්ධතාවක් නොමැති පිරිමින්ගෙන් කාන්තාවන් ඔවුන්ගේ ශරීරය සහ මුහුණ සඟවා ගත යුතු ය.
පිරිමින්ට ද කාන්තාවන්ගේ ශරීර සහ මුහුණු දෙස බැලීම තහනම් වන අතර, වැඩිහිටි කාන්තාවන්ට ද පිරිමි දෙස බැලීමට එය එලෙස ම අදාළ වේ.
පිරිමින්ට පැනවෙන නව සීමා

නව සදාචාර නීති මගින් පිරිමින්ට ද ඇතැම් සීමා පැනවෙයි.
ඔවුන් නිවසින් පිටත සිටින විටදී, නාභියේ සිට දණහිස් දක්වා ඔවුන්ගේ ශරීර අවරණය කර ගැනීම අවශ්‍ය වේ. ඒ, මෙම ශරීර කොටස් "නිරුවත" ලෙස සලකන හෙයිනි.
පිරිමින්ට ෂරියා නීතියට පටහැනි ආකාරයෙන් සිය කොණ්ඩාවල පෙනුම වෙනස් කළ නොහැක. මෙම නියෝගය ෂරියා නීතිය සමඟ අනුකූල බව පවසමින් තාලිබාන්වරුන් පළාත් කිහිපයක කරණවෑමියන්ට රැවුල මුඩු කිරීම හෝ කැපීම තහනම් කර තිබේ. පිරිමින්ට ටයි පටියක් පැළඳීම ද සදාචාර නීතියෙන් තහනම් කර ඇත.
මොහ්තසබීන් යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මොහ්තසබීන්, නීතිය බලාත්මක කිරීමට සහ සියලු පළාත්වල එය ක්‍රියාත්මක කරවීමට වගකිව යුතු ය. නීතිය සමග අනුකූල වීම සුපරීක්ෂණය කිරීම සහ වැරදිකරුවන් අධිකරණයට ගෙන ඒම ඔවුහු සිදු කරති.
නව නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග, විශේෂයෙන් ම තාලිබාන් නායකයාගේ පූර්ණ සහය ඔවුන්ට ඇති නිසා පෙරටත් වඩා ඔවුන්ගේ විධායක බලතල ශක්තිමත් ය.
කාන්තාවන්ගේ කටහඬවල් හෝ ඔවුන්ගේ නිවසින් ඇසෙන සංගීතය නිශ්ශබ්ද කිරීමට සහ කොණ්ඩා මෝස්තර සීමාවන් සමග අනුකූල නොවන්නේ නම් පිරිමින්ට හිස මුඩු කිරීමට හෝ කොණ්ඩය කපන ලෙස පැවසීමට ඔවුන්ට හැකි වනු ඇත.
පියා හෝ වැඩිමහලු සහෝදරයෙකු වැනි ළඟ ම පිරිමි ඥාතියෙකු සමග නොයන හෝ ෂරියා නීතියට අනුව හිජාබයක් පැළඳ නොසිටින කාන්තාවන්ව ටැක්සි රියැදුරන් විසින් වාහනවල රැගෙන යාම වැළැක්වීමට අධිකාරි බලය ද සදාචාර පොලිසියට ඇති බව නීතිය පවසයි.
පිරිමින්ට සහ කාන්තාවන්ට මෝටර් රථයක දෙපස අසුන්ගෙන යාමට අවසර නොමැත.
ජීවීන්ගේ ඡායාරූප ගැනීම තහනම්

ඡායාරූප මූලාශ්‍රය, QUDRATULLAH RAZWAN/EPA-EFE/REX/Shutterstock
කුරුල්ලෙකුගේ චිත්‍රයක්, සතෙකු හෝ පවුලේ සාමාජිකයෙකු ලෙස අදහස් විය හැකි ජීවියෙකුගේ රූපයක් සකස් කිරීම, ළඟ තබා ගැනීම හෝ පළ කිරීම ද තහනම් යැයි නව නීතියේ පැවසෙයි.
නව නීතියට අනුව ජීවීන්ගේ පිළිම මිලදී ගැනීම සහ විකිණීම ද තහනම් ය.
ෂරියා නීතියට අනුව "හරාම්" ලෙස සැලකෙන සංගීතය වාදනය කිරීම වැනි ටේප් රෙකෝඩර් සහ රේඩියෝ වැරදි ලෙස භාවිත කිරීම් වැළැක්වීමට නව නීතිය සදාචාර පොලිසියට බලය දී තිබේ. ජීවීන්ගේ ඡායාරූප සහ චිත්‍රපට නිෂ්පාදනය සහ නැරඹීම ද තහනම් ය.
එහෙත්, නව නීතිවලට පටහැනිව, ගුණධර්ම ප්‍රචාරණ හා දුසිරිත් වැළක්වීමේ අමාත්‍ය මොහොමඩ් කලීඩ් හනාෆි ඇතුළු තාලිබාන් රජයේ සියලු ම නිලධාරීන් පාහේ කැමරාවලට පෙනී සිට තිබේ.
දඬුවම් මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
යම් පුද්ගලයෙකු විසින් ප්‍රසිද්ධියේ "හෙළා දැකිය යුතු ක්‍රියාවක්" සිදු කරයි නම් ඔවුන්, "උපදෙස් ලැබීම සහ දෙවියන්ගේ දිව්‍යමය පව් පළදීම පිළිබඳ බියවැද්දීමේ" සිට දඩයක් සහ පොදු බන්ධනාගාරයක දින තුනක් දක්වා සිරගත කිරීම දක්වා දඬුවම් මාලාවකට ඔවුන් යටත් වන බව නීතියෙන් පැවසෙයි.
මෙම නීතිය නීතිගත කිරීම බොහෝ විවේචනවලට තුඩු දුන්නේ ය.
එක්සත් ජාතීන්ගේ ඇෆ්ඝනිස්ථාන සහයෝගීතා මෙහෙයුමේ ප්‍රධානී රෝසා ඔටුන්බයේවා මෙසේ පැවසුවා ය:
"දශක ගණනාවක යුද්ධයෙන් සහ දරුණු මානුෂීය අර්බුදයක් මධ්‍යයේ, යාඥාවට ප්‍රමාද වූයේ නම් හෝ, පවුලේ සාමාජිකයෙකු නොවන විරුද්ධ ලිංගිකයෙකු දෙස බැලුවේ නම් හෝ, ආදරණීයයෙකුගේ ඡායාරූපයක් සන්තකයේ තබා ගැනීම නිසා තර්ජනයට ලක් වීමට හෝ බන්ධනාගාර ගත වීමට වඩා වැඩි හොඳ දෙයක් ඇෆ්ඝනිස්ථාන ජනතාවට හිමි විය යුතු යි."
තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවූ නව නීති
තාලිබාන් රජය ආගමික පාලනයක් පනවා ඇති අතර, නිල වශයෙන් සදාචාර නීතිය පැනවීමට ගත් පියවර ආපසු හැරවීමක් සිදුනොවුව ද, කාබුල් අගනුවර ඇතුළුව රටේ ඇතැම් කොටස්වල නීතිය ක්‍රමානුකූලව ක්‍රියාත්මක වී නොමැත.
සදාචාර අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු විසින් බීබීසී පුවත් පැෂ්ටෝ වෙත පවසනු ලැබුවේ, ඔවුන් නව ප්‍රතිපාදන ක්‍රියාවට නැංවීමට රාමුවකට අනුගතව වැඩ කරමින් සිටින බව ය.
අදාළ ප්‍රකාශකයාට අනුව, මෙම රාමුව සකස් කිරීමෙන් පසු නීතියේ ක්‍රියාවට නැංවීම වඩාත් පැහැදිලිව සිදුවනු ඇති බව ය.
කෙසේ වුවත්, නීතිය යටතේ ඇති බොහෝ වගන්ති රටේ අනෙක් ප්‍රදේශ පුරා දැනටමත් ක්‍රියාත්මක වේ.
ගුණධර්ම ප්‍රචාරණ හා දුසිරිත් වැළක්වීමේ අමාත්‍යංශය ඇෆ්ඝාස්ථනයේ වැඩියෙන් ම ක්‍රියාකාරී රජයේ ආයතනවලින් එකකි.
පසුගිය වසරේදී අමාත්‍යංශය ප්‍රකාශ කළේ, ෂරියා නීතියට අනුකූල නොවීම නිසා සදාචාර පොලිසිය විසින් තාවකාලිකව පුද්ගලයන් 13,000කට වැඩි පිරිසක් රඳවා තබා ගනු ලැබූ බවයි.














