සිසුවියන් දහස් ගණනකගේ අධ්‍යාපනයට තිත තබන ඇෆ්ගනිස්ථානයේ පාසල් වර්ෂයේ අවසානය

පාසල් ඇඳුමින් සැරසුණු ඇෆ්ගන් සිසුවියන් කිහිප දෙනෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම පාසල් වර්ෂය අවසන් වීමත් සමග, හයවන ශ්‍රේණිය සම්පූර්ණ කරන ගැහැනු දරුවන්ට නැවත පාසල් අධ්‍යාපනය ලැබීමට තවදුරටත් අවසර හිමි නොවනු ඇත

ඉරිදා (දෙසැම්බර් 20), ඇෆ්ගනිස්ථානයේ 1404 පාසල් වර්ෂය නිල වශයෙන් අවසන් වුණේ දහස් ගණනක් ගැහැනු දරුවන්ගේ අධ්‍යාපන ගමන් මගේ අවසානය ද සනිටුහන් කරමිනි.

ඒ අනුව, හයවන ශ්‍රේණිය සම්පූර්ණ කළ ගැහැනු දරුවන්ට නැවත පාසල් යාමටත් අඛණ්ඩව අධ්‍යාපන කටයුතුවල නිරත වීමටත් තවදුරටත් අවසර හිමි නොවේ.

ගැහැනු දරුවන්ට හයවන ශ්‍රේණියේ සිට ඉහළට අධ්‍යාපනය ලැබීම අත්හිටුවා වසර හතරකට වැඩි කාලයක් ගත වී ඇති අතර, ගැහැනු දරුවන්ට සහ කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම තහනම් කර වසර තුනකට ආසන්න කාලයක් ගත වී තිබේ.

2021 අගෝස්තු මාසයේදී තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය ලබා ගැනීමෙන් පසු, හයවන ශ්‍රේණියේ සිට ඉහළට ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තිබුණු අයිතිය තහනම් කළේ ය.

දේශීය හා ජාත්‍යන්තර බලපෑම් එල්ල වුව ද, ගැහැනු දරුවන් සඳහා පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කරන නිශ්චිත දිනයක් තාලිබාන් සංවිධානය තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

මේ වසරේ හයවන ශ්‍රේණිය අවසන් කිරීමෙන් පසු පාසලෙන් ඉවත් වීමට සිදු වූ දැරියක වන ෆෙරෙෂ්තේ (අන්වර්ථ නාමයකි) බීබීසීයට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසුවා ය: "අපිට ඉස්කෝලේ යන්නවත් අයිතියක් නැති වෙන්න ලෝකය කොහේට ද ඇවිත් තියෙන්නේ? ඇෆ්ගනිස්ථානයේ ඉපදෙද්දී ම අපි දුප්පත්. අපිට නොසෑහෙන්න මානව හිමිකම් අහිමි වුණා. අපි ජීවත් වෙන තත්ත්වය ජීවිතය නෙවෙයි."

කඳුළින් සහ හිත් අමනාපයෙන් පාසල් අධ්‍යාපනයට තිත තැබීමට සිදුවූ යෞවනියන්ගේ, අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි වූ සියලු ම දැරියන්ගේ හැඟීම එයයි.

හඬා වැටෙනා සිසුවියක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2021 අගෝස්තු මාසයේදී තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය ලබා ගැනීමෙන් පසු, හයවන ශ්‍රේණියේ සිට ඉහළට ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තිබුණු අයිතිය තහනම් කළේ ය

ප්‍රතිචාර

"සෑම සමාජයක ම අභිවෘද්ධිය සහ අභිමානය සඳහා" විද්‍යාව සහ අධ්‍යාපනය "ප්‍රධාන මෙවලම්" වන බවත්, ස්වයංපෝෂිතභාවය ළඟා කර ගැනීම සඳහා ඇෆ්ගනිස්ථානයට විවිධ අංශවල විශේෂිත පිරිමින් මෙන් ම කාන්තාවන් ද ලක්ෂ ගණනක් අවශ්‍ය බවත් ඇෆ්ගනිස්ථාන හිටපු ජනාධිපති හමීඩ් කර්සායි X සටහනක් තබමින් පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ඇෆ්ගනිස්ථානයට දීප්තිමත් අනාගතයක් උදා කර ගැනීම" සඳහා ගැහැනු දරුවන් වෙනුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද කර්සායි සඳහන් කළේ ය.

ඒ අතර ම, ඇෆ්ගන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හිටපු සාමාජිකාවක වන ෆවුසියා කෝෆි, අධ්‍යයන වර්ෂයේ අවසානය ගැන සඳහන් කරමින්, 12 වන ශ්‍රේණියේ සිසුන් අතිශය තරගකාරී කන්කෝර් විභාගයට සූදානම් වෙමින් සිටින්නේ, වර්තමාන ලෝකය දැනුම හා විද්‍යාත්මක ප්‍රගතිය මත විශ්වාසය තබමින පසුබිමක බව ය.

ඇෆ්ගනිස්ථානයට ද සියලු ම පුරවැසියන්ට සාධාරණ හා සමාන අධ්‍යාපන අවස්ථා අවශ්‍ය බව ඇය අවධාරණය කළා ය. නමුත් ඇයට අනුව, තාලිබාන් පාලකයින් විසින් මෙම අයිතිය ගැහැනු දරුවන්ගෙන් උදුරා ගනු ලැබ ඇත.

මෑතකදී ඉරානයේ සංචාරයක නිරත වූ තාලිබාන් රජයේ අධ්‍යාපන අමාත්‍ය නාඩා මොහොමඩ් නදීම් ද ඇෆ්ගනිස්ථාන ගැහැනු දරුවන්ට අධ්‍යාපනය තහනම් කිරීම සම්බන්ධයෙන් විවේචනයට ලක් විය. නදීම් සමග පැවති හමුවකදී ඉරාන විද්‍යා අමාත්‍යවරයා ඔහුගෙන් ඇසුවේ, "රටේ ජනගහනයෙන් අඩක් තුරන් කළ හැකි ද?" යනුවෙනි.

"අධ්‍යාපනය සම්බන්ධයෙන් අපිට ඔබට උදව් කරන්න පුළුවන්," යැයි ඔහු පැවසුවේ ඉරාන විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන දහස් ගණනක් ඇෆ්ගනිස්ථාන සිසු සිසුවියන් සහ ඉරාන පාසල්වල ඉගෙනුම ලබන ලක්ෂ ගණනක් සිසු සිසුවියන් ගැන සඳහන් කරමිනි.

පාසල් යන කළු ඇඳුමින් සැරසුණු දැරිවියන් කිහිප දෙනෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජාත්‍යන්තර සංවිධානවලට අනුව, ගැහැනු දරුවන් අධ්‍යාපනයෙන් අඛණ්ඩව බැහැර කිරීම බරපතළ මානසික හා සමාජයීය ප්‍රතිවිපාක ඇති කළ හැකි අතර, අඩු වයසින් විවාහ වීම සහ අනාගත අවස්ථා අහිමි වීම වැනි අවදානම් වැඩි කරයි

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) පවසන පරිදි, ඇෆ්ගනිස්ථානයේ නව යොවුන් වියේ ගැහැනු දරුවන් මිලියන 2.2කට වැඩි පිරිසකට අධ්‍යාපනය අහිමි වී තිබේ. තහනම දිගට ම පවත්වා ගෙන යාම රටේ අනාගතයට "විනාශකාරී" ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට ද එම සංවිධානය අනතුරු අඟවා ඇත.

මෙම ක්‍රියාවලිය ඔවුන්ගේ අනාගතය පිළිබඳ තීරණ ගැනීමේ හැකියාවට දැඩි ලෙස බලපාන බව ද සංවිධානය පවසයි.

මෙම වසරේ අගෝස්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය විසින් නිකුත් කරන ලද වාර්තාවකින් හෙළි වූයේ ඇෆ්ගනිස්ථාන පුරවැසියන්ගෙන් සියයට 92ක් ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහය දක්වන බව ය. මෙම වාර්තාව පදනම් වී ඇත්තේ රට පුරා 2,000කට අධික පිරිසකගේ ගෙයින් ගෙට ගොස් කරන ලද සමීක්ෂණයක් මත ය.

මේ අතර, ජාත්‍යන්තර සංවිධානවලට අනුව, ගැහැනු දරුවන් අධ්‍යාපනයෙන් අඛණ්ඩව බැහැර කිරීම බරපතළ මානසික හා සමාජයීය ප්‍රතිවිපාක ඇති කළ හැකි අතර, අඩු වයසින් විවාහ වීම සහ අනාගත අවස්ථා අහිමි වීම වැනි අවදානම් වැඩි කරයි.