ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා'

Trump jokes with Lavrov and ambassador Sergei Kislyak

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ට්‍රම්ප් රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලව්රොෆ් (වම් පසින්) සහ තානාපති සර්ගෙයි කිස්ලයක් සමග විහිළුවක් බෙදා ගනිමින්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පිළිබඳ ඉතා රහස්‍ය තොරතුරු රුසියානු විදේශ ඇමතිවරයාට හෙළි කර ඇතැයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාව සමග රහස් තොරතුරු බෙදා ගන්නා වෙනත් පාර්ශවයක් විසින් ලබා දෙන ලද එම තොරතුරු වෙනත් කිසිදු පාර්ශවයක් සමග හුවමාරු කරගැනීමට එක්සත් ජනපදයට අවසර දී නොතිබුණු බව ද වොෂිංටන් පොස්ට් පුවත්පත පවසයි.

ගුවන් යානා තුළ ලැප්ටොප් පරිගණක භාවිත කිරීම හා සම්බන්ධ රහස් තොරතුරු එසේ රුසියාවට ලබා දී ඇති බව පුවත්පත එල්ල කරන චෝදනාවය.

ඇමරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගේයි ලව්රොෆ් පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති කාර්යාලයේදී හමු වූහ.

එහිදී රුසියාවට රහස් තොරතුරු ලබා දුන් බවට පළවන වාර්තා බැහැර කරන ජාතික ආරක්ෂක උපදේශක එච්ආර් මැක් මාස්ටර් විසින් එය හඳුන්වනු ලැබුවේ "අසත්‍ය පුවතක්" ලෙසය.

line
line

ජනාධිපතිවරණ සමයේ ට්‍රම්ප් ප්‍රචාරණ ව්‍යාපාරය රුසියාව හා සබඳතා පවත්වා ඇති බවට චෝදනා එල්ල වන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.

Trump / Clinton composite

ඡායාරූප මූලාශ්‍රය, AP

එම චෝදනා ප්‍රතික්ෂේප කරන ජනාධිපති ට්‍රම්ප් විසින් එම වාර්තා හඳුන්වනු ලැබුවේ "ව්‍යාජ පුවත්" ලෙසය.

සිය ප්‍රතිවාදියා වූ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් රටේ ආරක්ෂාව හා සම්බන්ධ සංවේදී කරුණු පිළිබඳව කටයුතු කළ ආකාරය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළදී ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දැඩි විවේචනයට ලක් විය.

පැවති ඔබාමා පාලනය යටතේ 2009 - 2013 කාලය තුළ ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන් රාජ්‍ය කටයුතු සඳහා සිය පෞද්ගලික ඊමේල් ගිණුම භාවිත කොට ඇති බවට චෝදනා එල්ල වේ.