සේවයෙන් පහ කළ FBI ප්‍රධානියාට අනතුරු ඇඟවීමක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
FBI රහස් ඔත්තු සේවයේ තොරතුරු රහසිගතව මාධ්‍යවලට ලබා නොදෙන මෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සේවයෙන් පහ කළ FBI ප්‍රධානී ජේම්ස් කොමී ට අනතුරු ඇඟවීය.
ජනාධිපතිවරයා එම අනතුරු ඇඟවීම සිදු කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.
ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සහ රුසියානු බලධාරීන් අතර සමීප සම්බන්ධයක් පැවතියේද යන්න පිළිබඳව පැවැත්වෙන FBI පරීක්ෂණයක් මෙහෙයවමින් සිටියේ සේවයෙන් පහ කළ FBI ප්‍රධානියා විසිනි.
ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය අඟහරුවාදා ඔහු සේවයෙන් පහ කරනු ලැබිණ.
තමන් රුසියාව සමග සම්බන්ධතා පැවැත්වීම පිළිබඳ පරීක්ෂණයේ සැකකරුවෙකු නොවන බව හිටපු FBI ප්‍රධානී ජේම්ස් කොමී තමන්ට දැනුම් දී තිබුණේ යයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් අනතුරුව අවධාරණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
ජේම්ස් කොමී සේවයෙන් පහකිරීම තමන්ගේ තනි තීරණයක් බව ජනාධිපතිවරයා දැන් පවසන නමුත් ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් මීට ඉහතදී ප්‍රකාශ කළේ නීතිපති ජෙෆ් සේෂන්ස් සහ නියෝජ්‍ය නීතිපති රොඩ් රොසෙන්ටෙන් ගේ උපදෙස් මත ජනාධිපතිවරයා එම තීරණය ගත් බවය.
රොඩ් රොසෙන්ටෙන් ගේ නිර්දේශය පිළිගෙන එම නිගමනයට එළැඹුණු බව FBI ප්‍රධානියා සේවයෙන් පහකරන බව දැනුම් දෙමින් ජනාධිපතිවරයා යැවූ ලිපියේද සඳහන් වේ.





