ජනපති ට්‍රම්ප් FBI ප්‍රධානියා පන්නයි

FBI director James Comey

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනාධිපතිවරණයේ සිය ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ පිළිබඳ පරීක්ෂණය මුල් කර ගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් FBI හෙවත් මධ්‍යම විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා සේවයෙන් පහ කර ඇති බව ධවල මන්දිරය පවසයි.

FBI ආයතනයේ අධ්‍යක්ෂ ජේම්ස් කෝමි "සේවයෙන් ඉවත් කොට ධුරයෙන් පහ කරන ලදී" යනුවෙන් ධවල මන්දිරය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

නමුත් ඩිමොක්‍රටික් පක්ෂය පවසන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය හා රුසියාව අතර තිබූ බව පැවසෙන සබඳතා සම්බන්ධයෙන් FBI ආයතනය විසින් ගෙන යනු ලැබූ පරීක්ෂණ අධ්‍යක්ෂකරයා සේවයෙන් පහ කිරීමට හේතු වී ඇති බවය.

ජනාධිපතිවරයා විසින් එම තීන්දුව ගනු ලැබ ඇත්තේ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ගේ විද්‍යුත් තැපැල් පිළිබඳ ජේම්ස් කෝමි කොංග්‍රස් මණ්ඩලය වෙත නිවැරදි නොවන තොරතුරු ලබා දී ඇතැයි හෙළි වීමත් සමගය.

line
line

ජේම්ස් කෝමි, ලොස් ඇන්ජලීස් නගරයේ දී FBI ඒජන්තවරුන් අමතමින් සිටින අවස්ථාවේ තමන් සේවයෙන් පහ කොට ඇති බව රූපවාහිනී පුවතක් ඔස්සේ දැන ගැනීමට ලැබී ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

එම පුවත දුටු පනස් හය හැවිරිදි ජේම්ස් කෝමි එය සරදමක් යැයි සිතා සිනා පළකොට ඇති බවත් වාර්තා වේ.

පුරප්පාඩු වූ ධුරය සඳහා

Clinton

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයවීමට සිදුවීම පිළිබඳ හිලරි ක්ලින්ටන් FBI අධ්‍යක්ෂක ජේම්ස් කොම්ලිට එවක දෝෂාරෝපණ එල්ල කළාය

පුරප්පාඩු වූ FBI අධ්‍යක්ෂ ධුරයට සුදුස්සෙකු තෝරා පත් කර ගැනීම සඳහා වහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.

ඇමරිකානු ඉතිහාසය තුළ FBI රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂවරයෙකු එම ධුරයෙන් පහ කරන ලද දෙවන අවස්ථාව මෙයයි.

පැවති ඔබාමා පාලනය යටතේ 2009 - 2013 කාලය තුළ ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන් රාජ්‍ය කටයුතු සඳහා සිය පෞද්ගලික ඊමේල් ගිණුම භාවිත කොට ඇති බවට චෝදනා එල්ල වේ.