හෙරොයින් තොරතුර ලැබුනේ ගුවන් සේවිකාවකගෙන්

හෙරොයින් තොගයක් -සංරක්ෂිත ඡායාරූපයකි
ඡායාරූප ශීර්ෂ වැකිය, හෙරොයින් තොගයක් -සංරක්ෂිත ඡායාරූපයකි

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට අද (31) පාන්දර 2.30 ට පමණ ලඟා වූ ගුවන් යානයක තිබී හමු වූ හෙරොයින් තොගය අල්ලා ගනු ලැබුණේ ගුවන් සේවිකාවක විසින් කරන ලද දැනුම් දීමක් අනුව යයි ශ්‍රී ලංකා රේගුව පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ධර්මසේන කහඳව, ඩුබායි සිට කටුනායකට ලඟා වූ ගුවන් යානයක වැසිකිළියේ තිබී එම හෙරොයින් තොගය සොයාගත් බව සඳහන් කළේය.

ඉස්තරම් වර්ගයේ හෙරොයින් හැටියට හඳුනා ගනු ලැබ ඇති කිලෝ 1.4 ක් වන මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙන බවත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ධර්මසේන කහඳව පවසයි.

මත්ද්‍රව්‍ය අල්ලා ගත් අවස්ථාවක්
ඡායාරූප ශීර්ෂ වැකිය, මත්ද්‍රව්‍ය අල්ලා ගත් අවස්ථාවක්

'මේ ගුවන් යානය ඩුබායි සිට මාල දිවයින හරහා ශ්‍රී ලංකාවට ලඟා වූ යානයක්. පකිස්තාන් ජාතිකයන් දෙදෙනකු එම යානයෙන් අදාළ මත්ද්‍රව්‍ය තොගය ගෙන ඒමට උත්සාහ කරන්නට ඇතැයි අපි සැක කරනවා. ඒත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුනා.වැඩිදුර පරීක්ෂණ පවත්වා ඔවුන් අත්අඩංගුවට ගැනීමේ කාර්යය අපි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට භාර දී තිබෙනවා' ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ධර්මසේන කහඳව වැඩිදුරටත් සඳහන් කළේය.

පාකිස්තාන් ජාතිකයකු ඔහුගේ ගමන් බෑගයක ඉතාම සූක්‍ෂම ලෙස සඟවමින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත්කළ කිලෝ 1.4 ක් වූ මෙවැනිම මත්ද්‍රව්‍ය තොගයක් මෙයින් සති දෙකකට පෙර අත්අඩංගුවට ගත් බව සඳහන් කළ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ධර්මසේන කහඳව, අද (31) අල්ලා ගත් හෙරොයින් තොගයත් පාකිස්තාන් ජාතිකයන් විසින් ගෙන එන්නට ඇතැයි සැක කෙරෙන බව කියා සිටියි.

වේගයෙන් පැතිර යන මත උවදුර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වේගයෙන් පැතිර යන මත උවදුර

එම සැකකරුවන් දෙදෙනා මාල දිවයිනට ගොඩ බසින්නට ඇතැයි සැක කරන බවත් ඔහු පවසයි.

'ජාත්‍යන්තර සබඳතා අනුව මාල දිවයින් රේගුව සමඟ කටයුතු කරමින් එම සැක කරුවන් අත්අඩංගුවටගැනීමට කටයුතු කරන බවත්' ශ්‍රී ලංකා රේගු ප්‍රකාශක ධර්මසේන කහඳව සඳහන් කළේය.