හෙරොයින් කිලෝ 101ක් මුහුදේදී අල්ලති

විදේශිකයන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ හෙරොයින් කිලෝග්‍රෑම් 101 ක් රැගත් බෝට්ටුවක් ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේදී අල්ලා ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.
පොලිස් මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යාංශය සහ නාවික හමුදා බුද්ධි අංශය ඒකාබද්ධව කරන ලද මෙහෙයුමකදී එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බවයි, නාවික හමුදා ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.
මත්ද්‍රව්‍ය තොගය සමඟ ඉරාන ජාතිකයන් දසදෙනකු සහ පාකිස්තාන ජාතිකයකුද අත්අඩංගුවට ගත් බවත් ඔහු පැවසීය.
'ශීඝ්‍ර වර්ධනයක්'
මත්ද්‍රව්‍ය රැගත් බෝට්ටුව පිළිබඳව පසුගිය බදාදා ඔත්තුවක් ලැබුණු බව සඳහන් කළ නාවික හමුදා ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි, ඔවුන් අත්අඩංගුවට ගෙන ගොඩබිමට රැගෙන එනු ලැබුවේ සිකුරාදා සවස් යාමයේ බවත් වැඩිදුරටත් පැවසීය.
නාවික හමුදාව පවසන පරිදි, ශ්‍රී ලංකාව ආසන්න මුහුදේදී අල්ලා ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙයයි.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ <link type="page"><caption> 2015 වාර්ෂික වාර්තාවට</caption><url href="https://www.incb.org/documents/Publications/AnnualReports/AR2015/English/AR_2015_E.pdf" platform="highweb"/></link> අනුව, විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ සහ පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරේ.
ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවට හෙරොයින් ප්‍රවාහනය කෙරෙන්නේ කන්ටේනර සහ ධීවර බෝට්ටු මාර්ගයෙන් බව පවසන එම වාර්තාව, 2014 දී ශ්‍රී ලංකා බලධාරීන් විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 313 ක් අල්ලා ගන්නා ලද බව පෙන්වා දෙයි.
මුහුදු මාර්ගයෙන් රට තුලට ගලා එන හෙරොයින් හැරුණු විට, විශේෂයෙන්ම පාකිස්තානයේ සිට ගුවන් මගින් හෙරොයින් ප්‍රවාහනය කිරීමට තැත්කිරීම සුලභ තත්වයක් බවත් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වාර්තාව පෙන්වා දෙයි.








