'හෙරොයින් මෝරු' 12ක් අත්අඩංගුවේ - පොලිසිය
'හෙරොයින් මෝරු' 12ක් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 12,000 ක් ගතව ගිය වසර ඇතුලත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඒ බව කියා සිටියේ, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ විශාල වර්ධනයක් දක්නට ලැබීමත් සමඟ ශ්‍රී ලංකාව ලොව මත්කුඩු ප්‍රවාහනයේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතිදැයි පළ වන අවධානය පිළිබඳව සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

සැබවින්ම සිදුව තිබෙන්නේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ වැඩිවීමක් නොව, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ වැඩිවීමක් බව පොලිස් ප්‍රකාශකවරයා පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන මධ්‍යස්ථානයක් බවට පත් වී තිබෙන්නේ දැයි කළ විමසුමකට පිළිතුරු දුන් නීතඥ අජිත් රෝහණ එවැන්නක් සනාත කිරීමට පොලිසියට තවමත් සාක්ෂි ලැබී නැති බව පැවසීය.
ලංකාවෙන් අප්‍රිකාවට?
"නමුත් ලයිබීරියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගත්ත මාස කිහිපයකට පෙර. ඔහු ලංකාවේ සිට මත්කුඩු රැගෙන යාමට උත්සාහ කළා ලයිබීරියාවට. ඒ අනුව අප්‍රිකාවට ලංකාවෙන් කුඩු ගෙන යාමේ උත්සාහයක් තියෙනවද කියල සැකයක් තියෙනවා," යනුවෙන්ද ඔහු පැවසීය.

මේ අතර පොලිස් අත්අඩංගුවට පත්වන මත්කුඩු යළිත් වෙළඳපලට නිකුත් කරන්නේ දැයි බරපතල සැකයක් පවතින බව <link type="page"><caption> විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ</caption><url href="http://www.sinhala.srilankamirror.com/index.php/news/19794-seized-drugs-back-to-market" platform="highweb"/></link> පවසා තිබුණි.
එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එම ප්‍රකාශය විග්‍රහ කළේ, අපරාධ යුක්ති ක්‍රමය සහ නඩු භාණ්ඩ සම්බන්ධ ක්‍රියාදාමය පිළිබඳව අවබෝධයක් නොමැති පුද්ගලයන්ගේ ප්‍රකාශයක් ලෙසින්.
ශ්‍රී ලංකාවේ කුඩු ජාවාරමට දේශපාලන නායකයන්ද සම්බන්ධ බවට ජාතික හෙළ උරුමය, විපක්ෂය සහ මහා සංඝරත්නය ඇතුළු බොහෝ දෙනා කරන චෝදනාව පිළිබඳව විමසු විට ඔහු කියා සිටියේ, එවැනි ඕනෑම චෝදනාවක් නාමිකව හෝ නිර්නාමිකව ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය සූදානම් බවයි.
<link type="page"><caption> ආණ්ඩුවේ අලුත්ම ව්‍යාපාරය</caption><url href="http://sinhala.lankanewsweb.net/news/13211-2014-07-27-10-09-08" platform="highweb"/></link> කුඩු විකිණීම බවට සැකයක් පවතින්නේ යයි විපක්ෂනායකවරයාද පවසා තිබුණි.
එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරමට දේශපාලකයන් සම්බන්ධ බවට "මෙතෙක් පොලිසියට කිසිම සාක්ෂියක් ලැබිල නෑ," බවයි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ අවධාරණය කරන්නේ.