යාපනයේ බරපතලම උවදුර මත්පැන් - ජනාධිපති

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක අතරින් මත්පැන් අලෙවියෙන් විශාලම ආදායම රජයට ලබා දෙන්නේ යාපනය වුවත් මෙම දිස්ත්‍රික්කය තුළ පවතින බරපතලම අර්බුදය වන්නේද මත්පැන් උවදුර බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
නිල කටයුතු කීපයක් සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් සඳහා යාපනයේ සංචාරයක නිරත වෙමින් සිටින ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ යාපනයේ පොදු එළිමහන් ක්‍රීඩාංගනයේ දීයි.
යාපනයේ මත්පැන් අලෙවි කරන වෙළෙදසැල් හැත්තෑවක් පමණ ඇති නමුත් මත්පැන් අලෙවිය සහ මත් පැන් උවදුර නවත්වන ලෙස බල කෙරෙන උද්ඝෝෂණ ශ්‍රී ලංකාවේ හෝ විදේශ රටවලවත් සිදු නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

සියලු රාජ්‍ය අංශ එක් කොට මත්ද්‍රව්‍ය නිවාරණය පිණිස රජය විසින් දියත් කරනු ලැබ තිබෙන විශේෂ වැඩ පිළිවෙලට සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේ.
මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සදහා යාපනය දිස්ත්‍රික්කයේ කැපවීමෙන් කටයුතු කළ රාජ්‍ය නිලධාරීන්ට, පොලිස් නිලධාරීන්ට සහ අන්තර් පාසල් තරඟ වලින් ජය ලැබූ දැරූ දැරියන්ට ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කරනු ලැබුණි.
'සියලු දරුවන්ට ලඟම පිහිටි පාසල'
ශ්‍රී ලංකාවේ සියලු දරුවන්ට ඔවුන් ආසන්නයේම පිහිටි පාසල ලබා දීමට පියවර ගන්නා බවට පොරොන්දු වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ උතුරේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නව රජය රුපියල් මිලියන පන්දහසකට වැඩියෙන් ලබා දීමට සමත් වී ඇති බවයි.

සිය සංචාරය අතරතුර යාපනයේ මධ්‍යම විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
ඊට අමතරව උතුරේ සෞඛ්‍ය, කෘෂිකර්මය සහ වාරිමාර්ග පහසුකම් වැඩිදියුණු කිරීමට කඩිනම් පියවර ගන්නා බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඉරණමඩු ජලාශය ඇතුළු සියලු වැව් ප්‍රතිසංස්කරණය කිරීමටද කටයුතු කරන බව පැවසුවේය.

මූල්‍ය ආධාර උතුරු පළාතට ලබා දූන්නද සම්පත්වල හිඟය නිසා බොහෝ සංවර්ධන කටයුතු වල විශාල ප්‍රමාදයක් දක්නට ලැබෙන බැවින් ඒ පිළිබදව වහාම සොයා බැලිය යුතු බවද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
ඒ වෙනුවෙන් නැවතත් ඉතාම ඉක්මනින් යාපනයට පැමිණ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු සෙසු නිලධාරීන් හමු වීමටත් වැඩ අතපසු වීමට හේතු සොයා බලා ඊට කඩිනම් විසදුම් සපයා දීමටත් තමන් බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.








