අකිල ධනංජයට වසරක ක්‍රිකට් තහනමක්?

අකිල ධනංජය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අකිල ධනංජය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ විලාසය නීති විරෝධී බව ස්වාධීන පරීක්ෂණයක් මගින් යළිත් තහවුරුවුවහොත් ඔහුට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට නියමිතයි.

ගාල්ලේදී පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ අකිල ධනංජයගේ පන්දු යැවූ ඉරියව්ව සැකසහිත බව එම තරගයේ විනිසුරුවරුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබේ.

ඒ අනුව දින 14ක් ඇතුළත පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණයකට මුහුණුදීමට අකිල ධනංජයට සිදුවේ.

නීතිවිරෝධී ඉරියව්වකින් පන්දු යැවු බවට චෝදනා එල්ල වූ දෙවන අවස්ථාව ලෙස මෙය සඳහන් වන නිසා, එම චෝදනාව ඔප්පු වුවහොත් වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට මුහුණ දීමට ඔහුට සිදුවේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පළමු වරට අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට ජාත්‍යන්තර විනිසුරුවරුන් වාර්තා කළ අතර ඒ පිළිබඳව පැවති පරීක්ෂණයේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවට තීන්දු විය.

අකිල ධනංජයට අමතරව, ශ්‍රී ලංකා නවසීලන්ත ප්‍රථම ටෙස්ට් තරගයේ පන්දුවාර කිහිපයක් යැවු නවසීලන්ත නායක කෙන් විලියම්සන්ගේ ඉරියව්ව ද නීතිවිරෝධී බවට සැකකරන බව තරග විනිසුරුවන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබේ.

මේ චෝදනාව හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ඔහුගේ පන්දු යැවීම මීට පෙර ද තහනම් කෙරුණු අතර තම ඉරියව්ව නිවැරදි කර යළි තරග බිමට පිවිසීමට ඔහුට අවස්ථාවක් ලබාදී තිබුණි. ඒ අනුව ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්වට මේ වසර මුලදී අනුමැතිය හිමිවිය.

  • 2018 නොවැම්බර් - පළමු වරට චෝදනාවට ලක්වීම
  • 2018 දෙසැම්බර් - ඉරියව්ව නීතිවිරෝධී බවට තහවුරුවීම
  • 2019 පෙබරවාරි - නව ඉරියව්වට අනුමැතිය
  • 2019 මාර්තු - නව ඉරියව්වෙන් පළමු එක්දින තරගය
  • 2019 අගෝස්තු - නව ඉරියව්වෙන් පළමු ටෙස්ට් තරගය
  • 2019 අගෝස්තු - දෙවන වරට චෝදනාවට ලක්වීම

අකිල ධනංජයගේ සැකසහිත ඉරියව්වෙන් යැවු බවට සැලකෙන පන්දුවල වීඩියෝ පට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලාබදීමට නියමිත අතර අකිල ධනංජයට පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේදී ඒ ආකාරයෙන්ම පන්දු යැවීමට සිදුවේ.

ඔහුට දැනට තහනමක් පනවා නොමැති අතර අවශ්‍යනම් ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි තරගයටද ඔහුව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ආයතනයට හැකියාව තිබේ.

කෙසේවෙතත් පරීක්ෂණයේ ප්‍රථිපලවලින් ඔහු පන්දුව දමා ගසන බවට නැවත තීන්දු වුවහොත් ඔහුට වසරක තරග තහනමකට මුහුණ දීමට සිදුවේ.

නැවත පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගෙන පරීක්ෂණයකට මුහුණදීමට සිදුවන්නේ නේද වසරකින් පසුවය.

නවසීලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේදී අකිල ධනංජය නවසීලන්ත පළමු ඉනිමේදී කඩුළු 5ක් බිඳ දැමීමට සමත් විය.

අකිල ධනංජයගේ දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර නොමැති අතර ඔහුට ආදේශකයක් විය හැකි ක්‍රීඩකයෙක් වන පිට දඟ පන්දුයවන දිල්රුවන් පෙරේරා මේවන විට සංචිතයට කැඳවා තිබේ.

තවත් තොරතුරු: