කුසල් මෙන්ඩිස් ගැන තව ඉවසන්න අවශ්‍යයි - ශ්‍රී ලංකා ක්‍රිකට්

සිය කොන්ත්‍රාත් කාලය අවසන් වනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමට අදහසක් නොමැති බව චන්දික හතුරුසිංහ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සිය කොන්ත්‍රාත් කාලය අවසන් වීම සඳහා තවත් මාස 16ක් පමණ ඇති බවය.
චන්දික හතුරුසිංහ මේ බව ප්‍රකාශ කළේ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගවලින් අනතුරුව ජාතික ක්‍රිකට් කණ්ඩායම යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව පැවති පළමු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කළ නමුත් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් විය.
ඉතා ඉහළ වැටුපක් ලබාගන්නා අතරවාරයේ සිය වගකීම නිසි පරිදි ඉටු කළ බවට සෑහීමකට පත් වන්නේදැයි එහිදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දුන් චන්දික හතුරුසිංහ සඳහන් කළේ ''මං හිතනවා මගේ පුළුවන් තරමින් කරනවා කියලා,'' යනුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මැල් මෙන්ම එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.
''මගේ පුද්ගලික මතය අපේ පන්දු යවන්නන් හොඳට සෙල්ලම් කළා. අපේ අඩුපාඩුව තිබ්බේ අපි උවමනා ලකුණු ප්‍රමාණය ගත්තේ නැති එක,'' යනුවෙන් අසන්ත ද මෙල් එහිදී සඳහන් කළේ තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම පිළිබඳ අදහස් දක්වමිනි.
වර්ෂාව හේතුවෙන් තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, කෙසේ වුවත් තරග හතෙන් තුනක් පමණක් ජයග්‍රහණය කිරීම ගැන සතුටට පත්විය නොහැකි බව කණ්ඩායමේ කළමනාකරු ලෙස ද ක්‍රියා කළ අසන්ත ද මෙල් පැවසීය.

''මැද පෙළ ගහන අය බය නැතුව ගහන්න ඕනා. අවුට් වෙන්න බයේ ගහනවා නම් හුඟක් වෙලාවට ගහන්න බෑ. අපි කියල තියෙන්නේ බය නැතුව ගහන්න. හිතන්න එපා ඊළඟ මැච් එකට ඉඳියිද, නැද්ද, ඒ වගේ හිතන්න නරකයි. අපි ගිහිල්ල පොසිටිව් ගහන්න ඕනා,'' යනුවෙන් අසන්ත ද මෙල් පැවසුවේ මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක වීම ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.
නායක දිමුත් කරුණාරත්න "ඉතා හොඳින් කණ්ඩායම මෙහෙය වූ" බව ද කළමනාකරු සඳහන් කළේය.
කුසල් මෙන්ඩිස් තරගාවලිය තුළ දී අසාර්ථකවීම ගැන අදහස් දැක්වූ ඔහු: "එයාට වයස 23යි. එයා ටෙස්ට් තරගවල ශතක පහක් ලබල තියෙනවා. මම හිතන්නේ එයා ඉතාමාත්ම හොඳ ටැලන්ටඩ් ප්ලේයර්. එච්චර හොඳ ක්‍රීඩකයෙක් ගැන අපි පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න ඕන," යනුවෙනි.
විශේෂයෙන්ම පිතිකරුවන්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් තිබිය යුතු යයි තමන් විශ්වාස නොකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වූ අසන්ත ද මෙල් වැඩිදුරටත් පැවසීය.








