ICC ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය: නෙදර්ලන්තය දණ ගැස්සු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති සුපර් සික්ස් වටයේ පළමු තරගය ලකුණු 21 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ජුනි මස 30 වෙනිදා) සමත් විය.
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු වටයේ දී නෙදර්ලන්ත කණ්ඩායම, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව වාර්තා කළ සුපිරි ඕවරයේ ජයග්‍රහණයත් සමග ඔවුන් වෙත ක්‍රිකට් ලෝකයේ වැඩි අවධානයක් යොමුවිය.
ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කළ මූලික වටයේ තරග හතර ජයග්‍රහණය කරමින් අපරාජිතව සුපර් සික්ස් වටයට සුදුසුකම් ලැබීය.
වගකීම් විරහිත පිතිකරණය
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ලකුණු 213 කට සීමා කිරීමට නෙදර්ලන්ත පන්දු යවන්නන් සමත් විය.
නෙදර්ලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අද දැක්වූයේ වගකීම් විරහිත පිතිකරණය නිසා පන්දුවාර 7ක් අවසන් වන විට ලකුණු 34 කට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4ක් දැවී තිබුණි.
ලංකාවට සවියක් වූ ධනංජය ගේ සටන්කාමි ඉනිම
ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4ක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී තිබියදී පිටියට පිවිසි ධනංජය සිල්වා සමග එක්වූ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න (33) ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වන කඩුල්ල සඳහා ලකුණු 33ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය.
දිමුත් ගේ දැවී යෑමෙන් පසුව පිටියට පිවිසි නායක දසුන් ශානක ලකුණු 05 කට දැවී ගියේය.
දසුන් ගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි වනිදු හසරංග (20) ධනංජය සිල්වා සමග එක්ව ශ්‍රී ලංකා ඉනිමේ 06 වන කඩුල්ල සඳහා ලකුණු 35ක් එක් කිරීමට සමත්වීම කැපී පෙනුණි.
අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව 131ක්ව සටහන්ව තිබියදී වනිදු හසරංග දැවී ගියේ ය.
ඉන් පසුව පිටියට පිවිසි මහිෂ් තීක්ෂණ, ධනංජය සිල්වා සමග එක්ව ශ්‍රී ලංකා ඉනිමේ 08 වන කඩුල්ල සඳහා වටිනා ලකුණු 77ක් රැස් කිරීමට සමත් විය.
මෙය අද තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු රැස්කිරීමේදී වාර්තා වූ ඉහළම සම්බන්ධතාවයයි.
ලකුණු 28ක් රැස් කර ගෙන සිටියදී මහිෂ් තීක්ෂණ දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 08 කට ලකුණු 208ක් ලෙසයි.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ධනංජය සිල්වා ලකුණු 93 ක් ලබා සිටියදී දැවී ගියේ ය.
පන්දුවාර 47.4 කදී ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ලකුණු පුවරුව දැක්වුයේ 213ක් ලෙසයි.
නෙදර්ලන්තය දණ ගැස්සු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ලකුණු 214ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නෙදර්ලන්ත පිතිකරුවන්ට ඔවුන්ගේ ඉනිම ආරම්භයේ සිටම තර්ජනයක් ගෙන ඒමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
නෙදර්ලන්ත ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 11ක් තුලදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර නෙදර්ලන්ත ඉනිමේ තෙවන කඩුල්ල සඳහා ලකුණු 77ක සම්බන්ධතාවයක් පැවැත්වීමට වෙස්ලි බැරේසී සහ බාස් ඩී ලීඩ්ට හැකිවිය.
ලකුණු 52ක් ලබා ගෙන සිටි වෙස්ලි බැරේසී දුවද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රකින්නන් සමත් වන ලදී.
නෙදර්ලන්ත ඉනිමේ සිව්වෙනි කඩුල්ල ලකුණු 91 ක්ව තිබියදී දැවී යාමෙන් පසු පිටියට එක්වූ නායක ස්කොට් එඩ්වර්ඩ් සමග එක්වූ බාස් ඩී ලීඩ් පස්වන කඩුල්ල සඳහා ලකුණු 36ක් එක් කිරීමට සමත් විය.
ලකුණු 41ක් ලබා ගෙන සිටි බාස් ඩී ලීඩ් ගේ කඩුල්ල දවා ගැනීමට සමත්වූයේ මහිෂ් තීක්ෂණයි.
ඉන් පසුව නෙදර්ලන්ත ඉනිමේ 23 වන පන්දු වාරය යවමින් මහිෂ් තීක්ෂණ නෙදර්ලන්ත කණ්ඩායමේ කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නෙදර්ලන්ත ඉනිම පන්දු වාර 39.5කදී ලකුණු 192 කට සීමා කළහ.
නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ නායක ස්කොට් එඩ්වඩ් නොදැවී ලකුණු 67ක් රැස් කළේය.
මහීෂ් තීක්ෂණ ලකුණු 31 කට කඩුලු තුනක් සහ වනිදු හසරංග ලකුණු 53 කට කඩුලු දෙකක් දවා ගනු ලැබීය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
'පීඩනයකින් තොරව ක්‍රීඩා කිරීම වැදගත්'
සුපර් සික්ස් ආරම්භයත් සමග, ශ්‍රී ලංකාව තරගාවලියේ මේ දක්වා ක්‍රීඩා කළ ආකාරයටම ක්‍රීඩා කිරීම වැදගත් බව හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ෆර්වේස් මහරුෆ් බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ය.
"අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. කරපු දේම කළා නම් හරි. සුපර් සික්ස්වලට එනකොට පීඩනය තව ටිකක් වැඩි වෙනවා ඇරෙන්න අඩුවෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ පීඩනයේ දී ගන්නා තීරණයි, පන්දු යැව්වත් පන්දුවට පහර දුන්නත්," ඔහු පැවසුවේ ය.
නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පිතිකරණ අංශය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද ෆර්වේෂ් මහරුෆ් සඳහන් කළේ ය.
"ගිය තරගයේ දී (ස්කොට්ලන්තය සමග) ළඟ ළඟ විකට් වැටුණා. ඒ මිස්ටේක් එක ආයේ කරන්න හොඳ නැහැ. පාට්නර්ශිප් බිල්ඩ් කරන්න ඕන. පීඩනය වැඩි වෙන්න පොඩ්ඩක් සන්සුන්ව සෙල්ලම් කළා නම්, දැන් සෙල්ලම් කරන විදිහට ප්‍රශ්නයක් නැතිව අද තරගයත් දිනලා ඉදිරි තරගවලින් එකක් හෝ දෙකක් දිනලා අපිට ෆයිනල් යන්න අවස්ථාව තියෙනවා," ඔහු පැවසීය.
පිතිකරණ අංශය දියුණුකර ගැනීම
නායක දසුන් ශානක සහ කුසල් මෙන්ඩිස් ලකුණු අතර නොසිටීම සම්බන්ධව අපි මහරුෆ්ගේ අදහස් විමසීමු.
"දසුන් විතරක් නෙමෙයි කුසල් මෙන්ඩිස් පවා ලකුණු අතරට ආවේ නැහැ. එයාලා අත්දැකීම් ඇති
ක්‍රීඩකයෝ. එයාලගේ දවසේ එයාලා හොදින් පිතිකරණයේ යෙදෙන ක්‍රීඩකයෝ. මම විශ්වාස කරනවා තරගාවලියේ දෙවන වටයේ දී නායක දසුන් ශානක සහ උප නායක කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණිලා කණ්ඩායමට ලොකු සේවයක් කරයි කියලා," ඔහු ඊට පිළිතුරු ලෙස පැවසීය.
අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුකළ යුතු ද?
ආබාධයකට ලක්වූ වේගපන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට ඩිල්ෂාන් මධුෂංක ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති නිසා, නෙදර්ලන්ත කණ්ඩායම සමග අද පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුකළ යුතු ද යන්න ද අප ෆ්ර්වේෂ් මහරුෆ් ගෙන් විමසන ලදී.
"කිසිම හේතුවක් නිසා කණ්ඩායමේ වෙනසක් සිදුකළ යුතු යි කියා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. දිගටම දිනාගෙන එන නිසා. ඒ වගේම කසුන් සහ ලහිරු හොදින් පන්දු යවමින් සිටිනවා. බලාපොරොත්තු වෙනවා ඒ කණ්ඩායම සෙල්ලම් කරයි කියලා," ඔහු පැවසීය.
"දුෂ්මන්ත ගැන කතා කළොත්, හරිම අවසනාවන්ත යි. ඔහුට ආබාධයන් නිසා පහුගිය අවුරුද්දක් එකහාමාරක් වගේ කාලයක් ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ. ඔහුට පුළුවන් තරම් ෆිට් වෙලා ඊළඟ තරගාවලියට ක්‍රීඩා කරන්න හැකි වෙන්න කියලා. ඔහුගේ අඩුපාඩුව පුරවන්න හරි අමාරු යි.
"ඒ වගේම ඩිල්ෂාන් මධුෂංක කියන්නෙත් හොඳ පන්දු යවන්නෙක්. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ ඉන්න ක්‍රීඩකයින් 15 දෙනාට ඉදිරි තරග තුන සහ අවසන් මහ තරගය හොදට ක්‍රීඩා කරල, ජයග්‍රහණය කරලා ලෝක කුසලාන තරගාවලියට යයි කියලා," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.












