ICC ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ පළමු තරගය:වනිදු හසරංගට අමතක නොවන දිනයක්

wanidu Hasaranga

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් අද (ජුනි මස 19 වෙනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 175 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනු එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ආරාධනාවට අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 355ක් රැස් කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ සුවිශේෂී අවස්ථා

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන දිමුත් කරුණරත්න සහ පැතුම් නිස්සංක පලමු කඩුල්ල සඳහා ලකුණු 95ක් රැස් කර ගනු ලැබීය.

දිමුත් කරුණාරත්න ලකුණු 52ක් සහ පැතුම් නිස්සංක ලකුණු 57ක් රැස් කර ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ සදිර සමරවික්‍රම ලකුණු 105ක සම්බන්ධතාවයක් පවත්වන ලදී.

කුසල් මෙන්ඩිස් පන්දු 63 කදී ලකුණු 78ක් සහ සදීර සමරවික්‍රම පන්දු 64 කදී ලකුණු 73ක් රැස් කිරීමට සමත් විය.

ඊට අමතරව චරිත් අසලංක නොදැවී ලකුණු 48ක් සහ වනිදු හසරංග පන්දු 12 කදී නොදැවී ලකුණු 23ක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 355ක් ලෙස සටහන් විය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

ප්‍රතිවාදීන් සුනු විසුනු කළ පන්දු යවන්නා

ලකුණු 356ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට පන්දු වාර 39ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 180ක් පමණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග පන්දු වාර 08ක් යවමින් ලකුණු 24 කට කඩුලු 06ක් දවා ගැනීමට සමත් වීම අද තරගයේ කැපී පෙනුනු අවස්ථාවකි. එය වනිදු හසරංග ගේ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ, ලහිරු කුමාර සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

වනිදු හසරංගට අමතක නොවන දිනයක්

සිය එක්දින තරග දිවියේ 50 වන කඩුල්ල දවා ගැනීමට වනිදු හසරංග අද සමත් විය. එක්දින තරග 42 කට ක්‍රීඩා කර ඇති වනිදු මේ වන විට දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 51ක්.

"අද තරගයේ දී පළමු වරට මට එක්දින තරගයකදී කඩුලු 05ක් දවා ගැනීමට හැකි වුවා, ඒ වගේම එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට හැකි වීම සතුටට කරුණක්."

"ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙන අවස්ථාවේදී තණතීරුව හොදින් හැසිරුණා. පන්දු යැවීමේදී පන්දුව හොදින් ග්‍රිප් (අල්ලා ගැනීමට) කර ගැනීමට හැකිවුණා. ඒක මේ වගේ විකට්ටුවක පන්දු යවද්දී වැදගත් දෙයක්."

"ඒ වගේම අපේ පිතිකරුවන් හොදින් පන්දුවට පහරදී ලකුණු රැස් කළා." තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වනිදු හසරංග පවසා සිටියේය.

පන්දු යැවීමෙන් කඩුලු 6ක් දවා ගනිමින් පිතිකරණයෙන් නොදැවී ලකුණු 23ක් රැස් කළ වනිදු හසරංග අද තරගයේ වීරයා ලෙස නම් කෙරුණි.