ICC ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය:ඕමානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ඕමාන කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 10 කින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ජුනි මස 23 වෙනිදා) සමත් විය.
අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් දෙකට එරෙහිව පැවති තරග දෙකම ජයග්‍රහණය කළ ඕමාන කණ්ඩායම අද තරගයේ දී ශ්‍රී ලංකාව කණ්ඩායමට එරෙහිව හොඳ තරගයක් දෙනු ඇති බවට විචාරකයින් බලාපොරොත්තු පළ කළහ.
කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිල පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබිය.
ඕමාන ඉනිම වැනසූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්
පළමු වෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි ඕමාන කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 15ක් තුලදී දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් විය.
කසුන් රාජිත සහ ලහිරු කුමාර ඕමාන පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් ගෙන දෙමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
පළමු පවර් ප්ලේ පන්දු වාර 10 අවසානය වන විට ඕමාන කණ්ඩාමේ ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 21 කට කඩුලු 04ක් ලෙසයි.
ඕමාන කණ්ඩායමට ලකුණු 50 ක් වාර්තා කිරීමට පන්දු 88ක් වැය විය.
ඕමාන කණ්ඩායමේ පිතිකරුවන් 7 දෙනෙකු ලකුණු 10 සීමාව පසුකර යෑමට පෙර දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
ඉන් පිතිකරුවන් තිදෙනෙකුම ලකුණු නොලබා දැවී යෑම ද විශේෂත්වයකි.
ඕමාන කණ්ඩායමේ පස්වන කඩුල්ල වෙනුවෙන් ජාතින්දර් සිං සහ අයන් ඛාන් එක්ව ලකුණු 50ක සම්බන්ධතාවයක් පවත්වන ලදී.
ඒ අනුව පන්දු වාර 30.2 ක් තුලදී ඕමාන කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 98ක් පමණයි.
මෙය ඕමාන කණ්ඩායම සිය එක්දින තරග ඉතිහාසයේ වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වේ.
වනිදු ගෙන් තවත් වාර්තාවක්
අද ඕමානය සමග පැවති තරගයේ දී පන්දු වාර 7.2 කදී ලකුණු 13කට කඩුලු 5ක් දවා ගැනීමට පා දඟ පන්දු යවන වනිදු හසරංග සමත් විය.
වනිදු මිට දින 04 කට පෙර එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග පැවති තරගයේදී ලකුණු 24 කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුයේය.
ඒ අනුව පිට පිට එක්දින තරග දෙකකදී කඩුලු පහක් දවා ගත් දෙවන ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට වනිදු හසරංග අද වාර්තා පොත් අතරට එක්විය.
මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම් වෙනුවෙන් එම දස්කම දක්වා තිබුනේ 1983 වර්ෂයේදී අසන්ත ද මැල් විසින්ය.
එමෙන්ම පිට පිට එක්දින තරග දෙකකදී කඩුලු 05ක් දවා ගත් ශ්‍රී ලංකාවේ පළමු පා දඟ පන්දු යවන්නා ලෙසට ද වනිදු හසරංග අද වාර්තා පොත් අතරට එක්විය.
එමෙන්ම අද තරගයේදී ලකුණු 22 කට කඩුලු තුනක් දවා ගනු ලැබූ ලහිරු කුමාර සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දිමුත්ගෙන් වේගවත් ඉනිමක්
ඕමාන කණ්ඩායම ලබාදුන් ලකුණු 99ක ඉලක්කය හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය එම ඉලක්කය පන්දු වාර 15ක් අවසානයේදී සපුරා ලීමට සමත් විය.
ඒ අනුව දිමුත් කරුණාරත්න පන්දු 51ක් තුලදී හතරේ පහරවල් 8ක් සමගින් නොදැවී ලකුණු 61ක් රැස් කිරීමට සමත් විය.
පැතුම් නිශ්ශංක පන්දු 39ක් තුල දී නොදැවී ලකුණු 37ක් රැස් කිරීමට සමත් වුයේය.
ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ ජයග්‍රහණය තවත් පන්දු 210ක් ඉතිරිව තිබියදී වාර්තා කිරීම දළ ලකුණු ලබා ගැනීමේ වේගය රඳවා තබා ගැනීමට බෙහෙවින් උපකාරී වන බව ක්‍රිකට් විචාරකයින් සඳහන් පැවසීය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ බී කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම අද ඕමානයට එරෙහිව ලද ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්විය.
ඒ අනුව තමන් මුහුණු දුන් තරග දෙකම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 04ක් ලබා ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගය සටහන් වන්නේ 4.220ක් ලෙසය.












