එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට අල්ලස් කොමිසමෙන් නඩු පැවරුවේ ඇයි?

Chandrani Bandara

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | CHANDRANI BANDARA

    • Author, බීබීසී සිංහල

හිටපු අමාත්‍යවරියක සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.

ඒ, පසුගිය යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ය.

හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් "දූෂණය" නමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ඇමතිණි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව ඊයේ (මැයි 20) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

එම නඩුවේ විත්තිකාර හිටපු අමාත්‍යවරියට එරෙහි ව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ ඒ අනුව චෝදනා 11 ක් එල්ල කර තිබේ.

2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට ඉහත චෝදනා එල්ල වී ඇති ක්‍රියාවන් සිදු වී ඇතැයි එයින් චෝදනා කරයි.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25 ක් ද නඩුව සමග ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් විමසීමට බීබීසී සිංහල විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රානි බණ්ඩාර දුරකතනයෙන් සම්බන්ධ කරගනීමට උත්සහ කළ අතර, ඒ මොහොතේ කතා කිරීමට අපහසු බැවින් පසුව නැවත ඇයව සම්බන්ධ කරගන්නා ලෙස ඇය එහිදී පවසා සිටියාය.

චන්ද්‍රානි බණ්ඩාර යනු කවු ද?

යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ, 2000 - 2001 කාලවකවානුවේදී ය.

ඒ, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි.

ඉන්පසුව ඇය 2001 - 2004, 2004 - 2010, 2010 - 2015 සහ 2015 -2020 කාලවකවානුවලදී පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.

ඇය 2015 වසරේ සිට වසර කිහිපයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ සභාපතිත්වය දැරුවා ය.