ලොහාන් රත්වත්තේ: 'බන්ධනාගාර රැඳවියෙකුගේ නළලට පිස්තෝලයක් තබා මරණ තර්ජනය කිරීමට' අදාළ නඩු විභාගයට දින නියම වෙයි

Lohan E Ratwatte

ඡායාරූප මූලාශ්‍රය, Lohan E. Ratwatte | Facebook

    • Author, බීබීසී සිංහල

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිමින් රාත්‍රී කාලයේ බීමත්ව අනුරාධපුර බන්ධනාගරයට ඇතුළු වී බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ ජාතික රැඳවියෙකුගේ නළලට පිස්තෝලයක් තබා වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇති වන ආකාරයෙන් සාපරාධී බිය වැද්දීමක් කර තර්ජනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන ජූලි මස 29 දින යළි විභාගයට ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අද (අප්‍රේල් 24) නියෝග කළේ ය.

ඒ, මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ය.

මීට අමතරව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් පවත්වා ඇති විමර්ශනයේ වාර්තාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ඒ, අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට මීට පෙර කර තිබූ නියෝගයකට අනුව ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයට අදාළව පැමිණිල්ලේ 1 සිට 12 දක්වා සාක්ෂිකරුවන් ලබා දී ඇති ප්‍රකාශවල පිටපත් විත්ති පාර්ශවයේ නීතිඥයින්ට ලබා දෙන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොළඔ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළේ ය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී දැනට අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටින විත්තිකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

ඔහුට යළි ජූලි මස 29 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට තවදුරටත් නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ පළමු සහ 7 වන සාක්ෂිකරුවන්ට සාක්ෂි ලබා දීමට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඔ අපරාධ කොට්ඨාසය ස්වකීය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණය හමුවේ කියා සිටියේ, 2021 වසරේ සැප්තැම්බර් මස 12 වන දා හෝ ඊට ආසන්න දිනයක සැකකරු (බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එම බන්ධනාගාරයේ රදවා සිටි රැඳවියකු වන පුබාර සිංහන් සූරිය පාලන් යන අය දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධී බියවැද්දීමක් කර තර්ජනය කර වරදක් සිදු කර ඇති බවට ලංකා දණ්ඩ නීති සංගශ්‍රයේ 183 වගන්තිය ප්‍රකාරව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණ වන බවට නීතිපතිවරයා දැනුම් දී ඇති බව ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඒ අනුව, නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව සැකකාර ලොහාන් රත්වත්තේට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 486 වන වගන්තිය යටතේ මෙම අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කරන බව කොළඔ අපරාධ කොට්ඨාසය තවදුරටත් අධිකරණයට දැනුම් දී සිටියේ ය.

සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් මෙම වරද සිදු කරනු ලැබ ඇති බව කියන දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියෙහි යොදවා සිටි දෙවන පෙළ ජේලර් කුඹුරේගෙදර ජයතිලක, පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ආර්.එම්.පී.ජී.එස්.ඩී.බී. රත්නායක කොළඔ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් රණසිංහ සහ බන්ධනාගර නිලධාරීන් සහ අනුරාධපුර බන්ධනාගාරයේ එදින රඳවා සිටි රැඳවියන් ඇතුළු 14 දෙනෙකු මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇත.

පැමිණිල්ල වෙනුවෙන් කොළඔ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇනස්ලම් ද සිල්වාගේ අධීක්ෂණය යටතේ, උපපොලිස් පරීක්ෂක ඒ.එච්.එල් සුමනසිරි සමග රජයේ අධිනීතිඥ සමදරී පියසේන පෙනී සිටි අතර විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ නුවන් ඩී. අල්විස් සහ නිශ්සංක පීරීස් සමග ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් පෙනී සිටියහ.

අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥයින් වන කේසවන් සජන්දන් සහ බෙනස්ලන් සමග ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පෙනී සිටියහ.