පැමිණිලි දෙකකට ඇප ලැබූ චාමර සම්පත් දසනායක තවත් පැමිණිල්ලකට රිමාන්ඩ්

ඡායාරූප මූලාශ්‍රය, Chamara Sampath Dasanayake
2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අප්‍රේල් 01 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (මාර්තු 27) නියම කළේ ය.
අප්‍රේල් 01 වන දා වන විට මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් මෙහිදී අල්ලස් කොමිසමට නියම කරනු ලැබී ය.
අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2016 වසරේ සමන්ත විද්‍යාරත්න නමැත්තෙකු ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළේ ය.
2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබා දීම සඳහා සැකකරු ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා ඇති බව ඇය සඳහන් කළා ය.
එම බැංකුව අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සැකකාර හිටපු ප්‍රධාන අමාත්‍යවරයා විසින් එම බැංකුවේ තිබූ ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල් පිරීමට පෙර ඉවත් කරගෙන තිබෙන බවත්, මේ තුළින් එම පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදු කර ඇති බවත් ඇය පැවසුවා ය.
එල්ල වූ දූෂණ චෝදනා මොනවා ද?
2016 වසරේ මෙම පැමිණිල්ල ඉදිරිපත් වුව ද පසුගිය කාල සීමාව තුළ එහි සාක්ෂිකරුවන්ට තිබූ බලපෑම් හේතුවෙන් විමර්ශන කටයුතු නිමා කර ගැනීමට නොහැකි වූ බවත් එම නිලධාරිනිය අධිකරණය හමුවේ කියා සිටියා ය.
"ස්වාමීනි... සාක්ෂිකරුවන් සියලු දෙනා පදිංචිව සිටින්නේ මෙම සැකකරුට අයත් බල ප්‍රදේශයේ. ඔවුන්ට බලපෑම් තිබුණා. ඒ නිස යි සාක්ෂි දීමට ඉදිරිපත් නොවුණේ. ඒ වගේ ම දේශපාලන අධිකාරියෙනුත් බලපෑම් තිබුණා. ෆයිල් එකක් ආවා ම වහල දාන්න කියනවා," යනුවෙන් එම නිලධාරිනිය අධිකරණය හමුවේ සඳහන් කළා ය.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ් ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, 2016 වසරේ ඉදිරිපත් වූ පැමිණිල්ල සම්බන්ධයෙන් 2019 වසරේ තම සේවාදායකයා අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා දුන් බව පැවසීය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන් අනතුරුව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අල්ලස් කොමිසම, දේශපාලනික පළිගැනීමක් වශයෙන් තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් කියා සිටියේ ය.
අල්ලස් කොමිසම යනු ස්වාධීන කොමිෂන් සභාවක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඊට බලපෑම් සිදුවන බව එම කොමිසමේ නිලධාරීන් ම ප්‍රකාශ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවත් සඳහන් කළේ ය.
තම සේවාදායකයා කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් කර ඇති බවට කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 01 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළා ය.
මේ අතර, 2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 10 මුදලක් හා මහජන බැංකුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් අනුග්‍රහය වශයෙන් ලබාගෙන ඒවා පළාත් සභාවේ ගිණුම්වලට බැර නොකොට චාමර සම්පත් දසනායක පදනම යටතේ මුදල් ලබා ගත්තේ යැයි සැකපිට ඉදිරිපත් කර තිබූ තවත් පැමිණිලි දෙකකට අදාළව සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
ඒ අනුව, එක් එක් පැමිණිල්ල සඳහා සැකකරු රු. 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරීමට ද නියම කෙරිණි.
ඊට අමතරව, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළා ය.
අදාළ පැමිණිලි දෙක අගෝස්තු මස 29 වන දා කැඳවීමට ද නියම කෙරිණි.














