ඌවේ මහඇමති අධ්‍යාපනයෙන් ඉවත් කළාද, ඉවත් වුණාද?

Chamara Sampath Dasanayake

ඡායාරූප මූලාශ්‍රය, Chamara Sampath Dasanayake

සිසුවෙකු පාසලට ඇතුළත් කර නොගැනීමේ හේතුව මත ඌව පළාතේ මහඇමති චාමර සම්පත් දසනායක සිය නිල නිවසට කැඳවා තර්ජනය කර දණ ගැස්ස වූ බව පැවසෙන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට සාධාරණය ඉටු කරන මෙන් ඉල්ලා සඳුදාත් (ජනවාරි 22) බදුල්ල නගරයේ දී විරෝධතාවක් පැවැත්විණ.

බදුල්ලේ පාසල් කිහිපයක ගුරුවරු, සිසුන් සහ දෙමව්පියන් ඇතුළු පිරිසක් එම විරෝධතාව සඳහා එක්ව සිටියහ.

ඌව පළාතේ මහ ඇමතිවරයා, සන්ධ්‍යා අඹන්වල අධ්‍යාපන ලේකම්වරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්එම්බී රත්නායක සහ විදුහල්පතිනියට බලපෑම් එල්ල කළ බවට චෝදනා එල්ල වී ඇති පළාත් සභාවේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් දෙදෙනා ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

මහ ඇමතිට අධ්‍යාපනය අහිමි වෙයි

බදුල්ල උද්ඝෝෂණ

තමන් විදුහල්පතිවරිය දණ ගැස්සවූ බවට නැගෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන මහ ඇමතිවරයා පවසන්නේ පරීක්ෂණවලට සහාය දීම සඳහා තමන් පළාත් අධ්‍යාපන ඇමති තනතුරෙන් ඉල්ලා අස්වූ බවය.

එහෙත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ මහ ඇමතිවරයා යටතේ පවතින පළාත් අධ්‍යාපන අමාත්‍යංශය ආණ්ඩුකාරවරයා වෙත පවරා ගැනීමට සහ පොලිස් පරීක්ෂණ කඩිනම් කිරීමට උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපතිවරයා බවය.

ඒ අනුව බදුල්ල පොලීසිය විදුහල්පතිනියගේ ප්‍රකාශ සටහන් කොටගෙන ස්ථානීය පරීක්ෂාවක් සඳහා ඇය ඉරිදා (ජනවාරි 21) ප්‍රධාන අමාත්‍ය නිල නිවස වෙත රැගෙන යනු ලැබූ අතර සමන්ත විද්‍යාරත්න හා සුරේෂ් වඩිවේල් යන මහජන නියෝජිතයෝ ඊට විරෝධය පළ කළහ.

අනතුරුව විදුහල්පතිනියගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට බදුල්ල මහ රෝහල වෙත ඉදිරිපත් කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් මහජනයාගේ විවේචන එල්ල විය.

සමාජ මාධ්‍ය තුළ ඒ සම්බන්ධයෙන් අදහස් පළ වූ අතර පළාතේ අධ්‍යාපන ලේකම්වරියගේ සැමියා මධ්‍යම පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන බැවින් පොලීසිය එවැනි පියවරක් ගනු ලැබූ බව ඇතැමෙකු සමාජ ජාල තුළ අදහස් දක්වමින් පවසා තිබිණි.

හෙටත් උද්ඝෝෂණ

බදුල්ලේ උද්ඝෝෂණ

"විදුහල්පතිනිය දණ ගැස්සවීම" හෙළා දැක ඊට එරෙහිව අඟහරුවාදා (ජනවාරි 23) පස්වරුවේ බදුල්ලේදී තවත් උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.

එම උද්ඝෝෂණය සංවිධානය කරනු ලැබ ඇත්තේ බදුල්ල දිස්ත්‍රික් ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව විසිනි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එය විරෝධතා වැඩසටහන් මාලාවක ආරම්භය බවය.

සඳුදා අනුරාධපුරයේදී ද මහ ඇමතිවරයාගේ ක්‍රියා කලාපය හෙලා දකිමින් විරෝධතාවක් පැවති අතර වතුකරයේ ජනතා නියෝජිතයින් සඳහන් කරන්නේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු නොකළහොත් වතු ජනයාගේ සහභාගීත්වයෙන් විරෝධතා ව්‍යාපාර ආරම්භ කිරීමට සිදුවන බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන වතුකරයේ දෙමළ ජනයා මෙන්ම සිංහල ජනයාද පවසන්නේ එය හෙලා දැකිය යුත්තක් බවය.

ඊට සම්බන්ධ අධ්‍යාපන බලධාරීන් සිය රාජකාරි වගකීම පැහැර හැර ඇති බවට ගුරු සංගම් චෝදනා කරන අතරවාරයේ, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ලෙස ක්‍රියා කරන ඌව පළාත් සභාවේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් පිළිබඳ සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් රජිත් කීර්ති තෙන්නකෝන් ඉල්ලීමක් කරයි.

සමාන පුවත්: