ඌව මහඇමතිට අධ්‍යාපනය නැහැ

මහ ඇමතිවරයා ඉවත්ව ඇත්තේ අධ්‍යාපන ඇමති පදවියෙන් පමණි

ඡායාරූප මූලාශ්‍රය, Srilanka Mirror

ඡායාරූප ශීර්ෂ වැකිය, මහ ඇමතිවරයා ඉවත්ව ඇත්තේ අධ්‍යාපන ඇමති පදවියෙන් පමණි

බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි පැවසෙන විශාල සමාජ ආන්දෝලනයකට මුහුණ දී සිටින ඌව මහඇමති චාමර සම්පත් දසනායක සිය පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉවත් වන බව ප්‍රකාශ කරයි.

මහඇමතිවරයා එම පියවර ගැන තිබෙන්නේ ඔහු මුල්කර ගත් පරීක්ෂණ සඳහා සහයෝගය දීමට තනතුරෙන් ඉවත් වන බව පවසමිනි.

ඔහු ඉවත්වන්නේ අධ්‍යාපන ඇමති පදවියෙන් පමණක් වන අතර සෙසු අමාත්‍ය පදවිවල පුරුදු පරිදි දිගටම රැඳී සිටිනු ඇත.

ඌව පළාත් මහ ඇමැති වරයා සම්බන්ධ ඉහත කී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඌව ආණ්ඩුකාරවරයාට නියෝග කරන ලද බවක් ද වාර්තා වෙයි.

පරීක්ෂණය පවත්වන කාලය තුළ මහ ඇමැතිවරයාට අයත් පළාත් අධ්‍යාපන ඇමැති ධූරය පවරා ගන්නා ලෙස ජනාධිපතිවරයා ඌව පළාතේ ආණ්ඩුකරුට දැනුම් දී ඇත.

මේ අර්බුදය ආරම්භ වුණේ මහඇමැති චාමර සම්පත් දසනායක විසින් බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය වන ආර්.භවානිට තමා ඉදිරියේ දණ නමා සමාව ගන්නා ලෙස බල කළේයයි පැවසෙන සිද්ධියක් සමඟය.

එය මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබීමත් සමඟ විශාල සමාජ කතිකාවක් බවට පත්විය.

දැනට වාර්තා වී ඇති ආකාරයට මහඇමතිවරයා විසින් එවැනි බල කිරීමක් සිදු කරනු ලැබ තිබෙන්නේ විදුහල්පතිනිය ඔහුගේ නියෝගයක් අනුව කටයුතු නොකිරීම හේතුවෙනි.

එහෙත් මහඇමතිවරයා ඔහුට එරෙහිව එල්ල වෙන චෝදනා බැහැර කරයි.

පාසලට ළමයකු ඇතුළත් කර ගන්නා මෙන් මහඇමතිවරයා විසින් එවන ලද ලිපියක් අනුව කටයුතු නොකිරීම නිසා තමා නිල නිවසට කැඳවා පරුෂ වචනයෙන් බැන වැදුන බවත් වැඳ සමාව ගැනීමට බල කළ බවත් විදුහල්පතිනි ආර් භවානි පවසන අතර, දණ නමා වැඳීමක් නොව ආචාර කිරීමක් පමණක් සිදු වූ බව මහඇමති චාමර සම්පත් දසනායක කියා සිටියි.

මේ සම්බන්ධයෙන් විධිමත් පියවර ගත්තේ නැත්නම් වතුකරයේ ජනතාව වීදි බස්සවන බවට වෘත්තීය සමිති නායකයන් කියා සිටින අතර ගුරු සංවිධාන රැසක් ද මහඇමතිවරයාට එරෙහිව පෙරට පැමිණ සිටිති.

ඌවේ තවත් කතා ;