මර්වින් සිල්වා යනු කවුද?: ඔහු සම්බන්ධ ආන්දෝලන මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Facebook
මර්වින් සිල්වා යනු ශ්‍රී ලංකා දේශපාලන කරළියේ ආන්දෝලනාත්මක සිද්ධි රැසකට පාදක වූ චරිතයකි.
කලක් තිස්සේ දේශපාලනික වශයෙන් යම් නිහඬතාවක පසුවූ ඔහු පිළිබඳව යළිත් අවධානයට යොමුව ඇත්තේ, බදාදා (මාර්තු 05) රාත්‍රියේදී පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හෙයිනි.
මර්වින් සිල්වාගේ බිරිඳ පවසන්නේ, බදාදා රාත්‍රී කාලයේ පැමිණි පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් සිය සැමියා රැගෙන ගිය බව ය.
මර්වින් සිල්වා අත්අඩංගුවට ගත්තේ ඇයි?
මර්වින් සිල්වා අත්අඩංගුවට ගැනීමට හේතු වූ ප්‍රධාන කරුණ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග බ්‍රහස්පතින්දා (මාර්තු 06) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැහැදිලි කිරීමක් කළේ ය.
"මේක දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද විමර්ශනයක්. නීතිපති තුමාගෙත් උපදෙස් ලබාගෙන ඊයේ දිනයේදී (මාර්තු 05) මර්වින් සිල්වා නමැති සැකකරු සහ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කළා. ඒ වගේ ම, ඒ සම්බන්ධයෙන් විමර්ශන දිගට ම සිදු කෙරෙනවා. මේ විමර්ශනය පදනම් වෙලා තියෙන්නෙ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ ඔප්පු සකස් කිරීම සම්බන්ධයෙන්"
අත්අඩංගුවට ගත් මර්වින් සිල්වා බ්‍රහස්පතින්දා (මාර්තු 06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ඔහු මාර්තු 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
මර්වින් සිල්වා යනු කවුද?
පාසල් අධ්‍යාපනය ලබන කාලයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනික ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ මර්වින් සිල්වා, 1970 වසරේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පළමු වරට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බෙලිඅත්තෙන් තරග කරන විට ඔහුගේ ආධාරකරුවෙකු විය.
1989 වසරේ පෙබරවාරි 17 වන දා මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු වසර 17කට අධික කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවිය පවසයි.
1944 මාර්තු 25 වන දා උපත ලැබූ මර්වින් සිල්වා මේ වන විට 80 වන වියේ පසුවෙයි.
මර්වින් සිල්වාට සම්බන්ධ ආන්දෝලනාත්මක සිද්ධි මොනවා ද?
මර්වින් සිල්වා යනු ආන්දෝලනාත්මක පුවත් මැවූ චරිතයකි.
පහත දැක්වෙන්නේ, ඒ අතරින් වඩාත් කතාබහට ලක්වූ සිද්ධි කිහිපයකි.
අමුඩයෙන් ගොස් විරෝධය පෑම
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ධූරය දැරූ සමයේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටි මර්වින් සිල්වා, එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතාවකට අමුඩයකින් සැරසී සහභාගි විය.
එවකට එය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර, ඔහුගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති විය.
මාධ්‍ය ආයතනවලට බලපෑම් කිරීම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔහු මාධ්‍ය ආයතන කිහිපයකට ම විවිධ බලපෑම් කළ සිද්ධි වාර්තා වූ අතර, පෞද්ගලික මාධ්‍ය ආයතන කිහිපයකට සහ මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල කරමින් බාධා එල්ල කළ අවස්ථා වාර්තා විය.
ඒ අතර, 2007 දෙසැම්බර් 27 වන දා තවත් පිරිසක් සමග ජාතික රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට ඇතුළු වී එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට පහර දීමට උත්සහ කළ අතර පසුව සේවකයින් පිරිසක් එක්ව ඔහු වැළැක්වීමට ක්‍රියා කළහ.
පසු කලෙක රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසුවේ, "ඇයි මං රූපවාහිනියට ගියේ? ඇයි මං ලණුව කෑවේ? ඒක මගේ වරදක්," යනුවෙනි.
2007 වසරේදී ම ඔහුගේ පුත් මාලක සිල්වා රාත්‍රී සමාජ ශාලාවකදී ඇති කර ගත් ගැටුමක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස් සිටි සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන්ට බාධා කිරීම් කළේ ය.
ඔහු සිරස මාධ්‍ය ජාලය සමග විරසක වීම ආරම්භ වූයේ එම සිද්ධියත් සමග ය.
පසුව, ඔහු තවත් විශාල පිරිසක් මහරාජා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වීමට උත්සහ කළ අතර, එය ව්‍යර්ථ කිරීම සඳහා සිරස ආයතනය ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් පිරිත් විකාශය කළේ ය.
පසු කලෙක, සිරස ආයතනය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී සිරසට එරෙහිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේ ය.
දිවයින පුවත්පත, ස්වර්ණවාහිනී ආයතනය ආදී තවත් මාධ්‍ය ආයතන කිහිපයක් සමග ද ඔහු ගැටුම් ඇති කරගෙන තිබිණි.
සමෘද්ධි නිලධාරියෙකු ගස් බැඳීම
2010 වසරේ අගෝස්තු මස 03 වන දින ඩෙංගු මර්දන වැඩසටහනකට සහභාගී නොවූ බවට චෝදනා කරමින්, එවකට රජයේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මර්වින් සිල්වා සමෘද්ධි නිලධාරියෙකු ගසක බැඳ දැමුවේ, මාධ්‍යවේදීන් රූගත කරද්දී ය.
ජනපතිනි චන්ද්‍රිකාට දණ ගසා වැඳීම
2004 වසරේ මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් පාර්ලිමේන්තු වරම් ලැබූ ඔහුට එවකට ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් කම්කරු සබඳතා හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධූරය පිරිනමන ලදී.
එය භාර ගනිමින් චන්ද්‍රිකා බණ්ඩාරනායකට දණ ගසා වැඳීමේ සිද්ධියට ද එවක මාධ්‍යවල වැඩි අවධානයක් යොමු විය.
'දුටුගැමුණු සබඳතා'
ඔහු තමන් දුටුගැමුණු පරපුරෙන් පැවත එන්නෙකු ලෙස හඳුන්වා ගැනීමට ද පසුකාලීනව උත්සහ කළේ ය.
මිනී පෙට්ටියක් රැගෙන බොරැල්ල කනත්තට කඩා වැදීම
මිනී පෙට්ටියක් ඔසවාගෙන ආරක්ෂකයින්ගේ ද බාධා කිරීම් නොතකා බොරැල්ල කනත්තට ඇතුළු වීමේ සිද්ධියක් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී වාර්තා විය.
මාධ්‍ය වාර්තා පළ වූයේ, ඔන්ලයින් පනතට විරෝධය පළ කිරීමේ අරමුණින් ඔහු එම ක්‍රියාවේ නිරත වූ බව ය.
රාජපක්ෂ පවුලට විරෝධය
මේ අතර, 2022 වසරේදී ජන අරගලය ක්‍රියාත්මක වූ සමයේ ඔහු මාධ්‍ය සම්මුඛ සාකච්ඡා ඔස්සේ රාජපක්ෂවරුන්ගේ පාලනය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කළේ ය.
එපමණක් නොව ජන අරගලයට සහය ද පළ කළේ ය.
"රාජපක්ෂලාගේ රහස් මං ළඟ තියෙනවා. ඒවා කියන්න වුණොත් කියනවා," මර්වින් සිල්වා පවසා තිබිණි.
ආචාර්ය නාමය
පසු කලෙක ඔහුගේ නම ඉදිරියෙන් 'ආචාර්ය' නාමයක් භාවිත කිරීමට මාධ්‍ය ආයතන ක්‍රියා කළේ, එක්තරා සංවිධානයක් විසින් ඔහුට ආචාර්ය නාමයක් පිරිනැමීමෙන් පසුව ය.
ඔහු ප්‍රකාශ කළේ, 'කටු චිකිත්සාවේ ඉතිහාසය සම්බන්ධයෙන් තමන් කළ පැහැදිලි කිරීමක් සැලකිල්ලට ගෙන තමාට ආචාර්ය නාමයක් පිරිනැමූ,' බව ය.














