දේශපාලනයේ නිරත කාන්තාවන්ට සමාජ මාධ්‍ය තුළ දරුණු අපහාස එල්ල වෙන්නේ ඇයි?

Former MP Hirunika Premachandra

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල

මහ මැතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ සති කිහිපයක් වන අතර, මේ වන විට මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන් සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබේ.

මැතිවරණය ආරම්භයට පෙර සිටි ම විවිධ පක්ෂවල අපේක්ෂකත්වය බලාපොරොත්තු වන කාන්තාවන් සම්බන්ධයෙන් සහ ඔවුන් කරන ප්‍රකාශ වාර්තා කිරීමේදී ඒවාට හිමි වන ප්‍රතිචාර සහ වාර්තා කරන ආකාරය පිළිබඳව බීබීසී සිංහල විසින් සොයා බැලීමක් සිදු කරන ලදී.

එහිදී නිරීක්ෂණය වූයේ බොහෝ විට දේශපාලනික කටයුතුවල නියුතු කාන්තාවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ හුවමාරු වන තොරතුරු සහ කරුණුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව හෝ අවධානය යොමු නොකර බොහෝ පිරිසක් ඒවාට ප්‍රතිචාර දක්වන බව ය.

එම ප්‍රතිචාර බොහෝ විට ලිංගිකත්වය ඉස්මතු වන ආකාරයෙන්, එම කාන්තාවන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ දේවල් මෙන් ම බොහෝවිට අසභ්‍ය වචන යොදා ගනිමින් සිදු කර ඇති ඒවා බව නිරීක්ෂණය විය.

පක්ෂ භේදයකින් තොරව මෙම තත්ත්වයට බොහෝ දේශපාලනයේ නිරත කාන්තාවන් ලක් ව තිබිණි.

දේශපාලනයේ නිරත කාන්තාවන් මෙතරම් ඉලක්ක වන්නේ ඇයි?

මේ ආකාරයෙන් දේශපාලනයේ සිටින කාන්තාවන් ඉලක්ක වීමට සමාජය තුළ කාන්තාවන් සම්බන්ධයෙන් පවතින මතවාද සහ ආකල්ප බලපාන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න පෙන්වා දෙයි.

"සමාජයේ ස්ත්‍රී විරෝධී ආකල්ප තියෙනවා. කාන්තාව ගෙදර වැඩ කරන්න ඕනෑ, එයා යටහත් පහත් වෙන්න ඕනෑ, කාන්තාවට නායකත්ව භූමිකාවන් දරන්න බෑ, දේශපාලනය කරනවා කියන්නේ කාන්තාවගේ දෙවැනි වැඩක්, පළවෙනි වැඩේ ඒක නෙවෙයි වගේ මතයක් සමාජය තුළ තියෙනවා."

මේ නිසා ම බොහෝ විට කාන්තාවන් සමාජ මාධ්‍යන් තුළ ඉලක්ක විය හැකි බව ඇය පෙන්වා දෙයි.

"කාන්තාවක් නායකත්වය දරනවා කියලා පෙනෙන විට, ඒ කාන්තාවගේ තියෙන දුර්වලතා හෝ දක්වන අදහස්වලට වඩා ඇයගේ පෞද්ගලික ජීවිතය, එයා ගෙදරදි අසමත් ද, එයාගේ ලිංගික දිශානතිය මොකක් ද, ළමයි ඉන්නව ද කියන ඒවා ඉලක්ක කරන්න පහසු යි. ඒ නිසා බොහෝම කැත විදිහට පෞද්ගලික ජීවිතය අල්ලාගෙන පහර දෙනවා. පිරිමි කෙනෙකුට පහර ගහනවාට වඩා වැඩියෙන් ඒ වගේ දේවල් කෙනෙකුගේ අවධානයට පහසුවෙන් ලක් වෙනවා. ඒ විදිහට කාන්තාවන්ව විශේෂයෙන් මාධ්‍යයේ සහ සමාජ මාධ්‍යයේ ඉලක්ක වෙන්න හේතුව විදිහට මම දකින්නේ ඒක."

ඇය පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය කාන්තාවන් දේශපාලනයට පැමිණීම කෙරෙහි බලපෑමක් සිදු කරන බව ය.

"අනිවාර්යයෙන් ම කාන්තාවන් දේශපාලනය කරන්න එන එකට බලපෑමක් වෙනවා. කවුරුත් කැමති නෑ මේ ප්‍රහාරවලට උත්තර දෙන්න. එයාලා මේ වගේ දේවල්වලින් හැඟීම්බර වුණා ම දේශපාලනය එපා වෙන්න පුළුවන්," ආචාර්ය කෞෂල්‍යා පෙන්වා දුන්නා ය.

'නිවැරදි අදහස සමාජගත වෙන්න සමාජ මාධ්‍ය තුළ ඉඩක් ලැබෙන්නේ නෑ'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෑත කාලීනව සමාජ මාධ්‍ය තුළ ඉලක්කයන් බවට පත්වූ දේශපාලනයේ නියැළෙන කාන්තාවක් කිහිප දෙනෙක් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූහ.

එහිදී ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂිකා නීතීඥ නිලන්ති කොට්ටහච්චි පෙන්වා දුන්නේ, සමාජ මාධ්‍ය තුළ නිවැරදි අදහසක් සමාජගත කිරීම අපහසු බව ය.

"සමාජ මාධ්‍යවලදී දේශපාලන වේදිකාවේ කරන සම්පූර්ණ කතාවක සම්පූර්ණ අදහස ඉස්මතු වෙන්න දෙන්නේ නැතිව යම් යම් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය නාලිකා ඒවායේ කොටස් සංස්කරණය කරනවා සම්පූර්ණ අදහස සහ හරය විකෘති වෙන විදිහට. කතාව විකෘති කරනවා වගේ ම මිනිස්සුන්ට විවිධ අදහස් හිතාගන්න ඉඩ දීලා කොටසක් උළුප්පලා දක්වනවා," ඇය පෙන්වා දෙයි.

නීතීඥ නිලන්ති කොට්ටහච්චි පවසන්නේ, මේ නිසා දේශපාලනයේ නියැළෙන කාන්තාවන් ඇතුළු සියලු ම දෙනා අපහසුතාවට පත් වන බව ය.

"අපේ රටේ මිනිස්සුන්ගේ කාර්ය බහුලත්වය සහ නොසැලකිල්ල නිසා කාලය වැය කරලා ඇත්ත කතාව හොයන්නේ නැතිව, අර තත්පර ගාණක සංස්කරණය කරපු දේ හෝ ඒකෙ තියෙන සිරස්තලය සහ කමෙන්ට්ස් කීපයක් විතරක් බලලා ඒ මතය ම තව ඉස්සරහට අරගෙන යනවා. ඒ නිසා නිවැරදි අදහස සමාජගත වෙන්න ඉඩක් සමාජ මාධ්‍ය තුළ ලැබෙන්නේ නෑ. ඒ නිසා ම කාන්තාවන් ඇතුළුව සියලු ම දේශපාලනඥයන් අසරණ වෙනවා."

Prime Minister Harini Amarasuriya and Lawyer Nilanthi Kottahachchi

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | HARINI AMARASURIYA

ඡායාරූප ශීර්ෂ වැකිය, ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂිකා නීතීඥ නිලන්ති කොට්ටහච්චි පෙන්වා දුන්නේ, සමාජ මාධ්‍ය තුළ නිවැරදි අදහසක් සමාජගත කිරීම අපහසු බව ය

'කාන්තාවක් කැපී පෙනෙනවා නම් ඇයට පහර එල්ල වීම වැඩියි'

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ වර්තමානයේ සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායකවරිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද මේ ආකාරයෙන් කලින් කලට සමාජ මාධ්‍ය තුළ ඉලක්ක වන දේශපාලනයේ නියුතු කාන්තාවකි. ඇය පවසන්නේ, යම් කාන්තාවක ඍජුව කතා කරන විට, කැපීපෙනෙන ආකාරයෙන් වැඩ කරන විට ඇයට ප්‍රහාර එල්ල වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව ය.

"ජනගහනයෙන් 52%ක් සහ ඡන්ද දායකයන්ගෙන් 56%ක් කාන්තාවන් වුණාට කාන්තාවන් තව ම දෙවන මට්ටමේ පුරවැසියන් විදිහට සලකන තත්ත්වයක් තමයි තවමත් ශ්‍රී ලංකාව තුළ තියෙන්නේ. දේශපාලනයේදී විතරක් නෙවෙයි, ඕනෑම ක්ෂේත්‍රයකදී කාන්තාව පිරිමින්ට වඩා දක්ෂව වැඩ කරනවා නම් හෝ කැපී පෙනෙනවා නම් මුලින් ම ඇයට පහර ගහන්න පටන් ගන්නේ ඇයගේ චරිතය අල්ලාගෙන. ඒ වගේ ම ඇය ටිකක් ඍජුව කතා කරන කෙනෙක් නම් සහ පෙනුම තියෙන කෙනෙක් නම් ඒ මඩ ගැසීම තවත් වැඩි වෙනවා," ඇය පෙන්වා දෙයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නේ, මෙම තත්ත්වය දේශපාලනයට පමණක් ලඝු වූ ප්‍රශ්නයක් නොවන බව ය.

"දැන් සංගීත ක්ෂේත්‍රය තුළ දක්ෂ ගායිකාවන් බිහි වෙලා තියෙනවා. ඒ අය බොහොම සාමාන්‍ය විදිහට ජීවත් වෙන අය වෙන්න පුළුවන්. ඔවුන් වේදිකාවේ කරන ඉදිරිපත් කිරීම හෝ එයා ඒ ඉදිරිපත් කිරීම කරන්න අඳින ඇඳුම දිහා බලලා ඒ අයට මඩ ගහනවා."

'රංගන ශිල්පිනියක් දේශපාලනය කිරීම වරදක් ද?'

විවිධ වෘත්තීන්වල නියැළෙමින් දේශපාලනයේ නිරත කාන්තාවන් අතර රංගන ශිල්පිනියෝ ද සිටිති. රංගන ශිල්පිනියන් සම්බන්ධයෙන් ද සමාජය තුළ විවිධ මතවාද තිබෙන අතර, එවැනි රංගන ශිල්පිනියක දේශපාලනයට ප්‍රවේශ වීමේදී ඇය ඉලක්ක වීමට ඉඩ තිබේ. පසුගිය කාලයේ තමාට එල්ල වූ අපහාස හේතුවෙන් තමා දැඩි ලෙස කණගාටුවට පත්ව සිටි බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න බීබීසී සිංහල වෙත පැවසුවා ය.

"කාන්තාවන් දේශපාලනිකව ශක්තිමත් කළ යුතු යි, කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය වැඩි කළ යුතු යි කියන එක වචනවලට පමණක් සීමා වුණ රටක තමයි අපි දේශපාලනය කරන්න ඇවිල්ලා ඉන්නේ. රංගන ශිල්පිනියක් විදිහට මට තිබුණ ගෞරවය මම දේශපාලනයට එද්දි නැති වෙලා අපහාස කරන්නේ ඇයි?," ඇය විමසයි.

"ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග සහ රන්ජන් රාමනායක වගේ අය කලාවේ ඉඳලා ක්‍රියාකාරීව දේශපාලනය කරපු අය. නමුත් රංගන ශිල්පිනියක් වෙන මම දේශපාලනය කිරීම වැරැද්දක් වෙන්නේ කොහොම ද?"

"ඇත්තට ම මට පහුගිය කාලෙ එල්ල වුණ අපහාසවලින් මම බොහොම කලකිරීමට පත්වෙලා හිටියා. මම අරගලයට එද්දි මට අපහාස කළා. එතැනින් මම දේශපාලන පක්ෂයක් තෝරා ගනිද්දි අපහාස කළා. නාම යෝජනා නොලැබුණු එකට අපහාස කළා. ඊට පස්සෙ මම නව දේශපාලන ගමනක් යන්න හදන විටත් මඩ ගහනවා. මේ විදිහට මඩ ගහලා මිනිස්සු මොකක් ද බලාපොරොත්තු වෙන්නේ," ඇය පවසයි.

දමිතා අබේරත්න පෙන්වා දෙන්නේ, සියලු ම පක්ෂවල කාන්තාවන් මෙයට ගොදුරු වී ඇති බව ය.

"ජාතික ජන බලවේගයේ නිලන්ති කොට්ටහච්චිට ඒ විදිහට සමාජ මාධ්‍ය තුළ අපහාස කරන විට මම පවා ඒවාට පිළිතුරු දැම්මා එහෙම වචනයක් අල්ලගෙන කාන්තාවන්ට මඩ ගහන්න එපා කියලා. අගමැති හරිණි අමරසූරියටත් ඇය අගමැති වෙන්න පෙර දැන් වගේ විවිධ කතා සමාජ මාධ්‍ය තුළ ගියේ නෑ. නමුත් ඇය නායකත්වයකට පත් වුණාට පසුව විවිධ කතා යනවා. කාන්තාවක් ඒ විදිහට නායකත්වයට එනකොට දරා ගන්න බෑ ගොඩක් අයට."

Actress Damitha Abeyrathne

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | MANISHA GUNARATHNE

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය කාලයේ තමාට එල්ල වූ අපහාස හේතුවෙන් තමා දැඩි ලෙස කණගාටුවට පත්ව සිටි බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න බීබීසී සිංහල වෙත පැවසුවා ය

'පිරිමින්ගෙන් අහන්නේ නැති ප්‍රශ්න සම්මුඛ සාකච්ඡාවලදි කාන්තාවන්ගෙන් අහන්නේ ඇයි?'

සමාජ මාධ්‍ය තුළ පමණක් නොව ප්‍රධාන මාධ්‍ය තුළ ද කාන්තාවන් දෙස සාම්‍ප්‍රදායික කෝණයකින් බලන අවස්ථා ඕනෑ තරම් තිබේ. උදාහරණයක් ලෙස දේශපාලනයේ නියුතු කාන්තාවන් සමග සිදු කරන සම්මුඛ සකච්ඡාවලදී මෙවැනි සාම්ප්‍රදායික නිර්ණයන්ට අදාළව ප්‍රශ්න කිරීම් වැඩි වශයෙන් නිරීක්ෂණය කළ හැකි ය.

ආචාර්ය කෞෂල්‍යා ආරියත්න පෙන්වා දෙන්නේ, සෑම විට ම කාන්තාවගේ සමාජ භූමිකාව ඉස්මතු කර ඔවුන් අධෛර්යවත් කරන ප්‍රශ්න විමසීම සිදුකරන බව ය.

"කාන්තාවන් දේශපාලනය කරන්න ඇවිල්ලා සම්මුඛ සාකච්ඡාවකට ගිය ගමන් ම මාධ්‍යයෙන් අහන්නේ ඔයා කොහොම ද ගෙදර බැලන්ස් කරන්නේ කියලා. මම මේක පහුගිය දවසක රූපවාහිනී නාලිකාවකදීත් මතු කළා. නමුත් ඒ මාධ්‍යය ම පිරිමි කෙනෙක් ආවට ඒ ප්‍රශ්නය අහන්නේ නෑ. ව්‍රායි සහෝදරිය සම්බන්ධ වුණ සම්මුඛ සාකච්ඡාවකදීත් මේ ප්‍රශ්නය ඇහුවා ම ඇය නැවත පෙරළා අහලා තිබුණා ඇයි ඔය ප්‍රශ්නය පිරිමි කෙනෙකුගෙන් අහන්නේ නැත්තේ කියලා," ඇය පවසයි.

ආචාර්ය කෞෂල්‍යා පෙන්වා දෙන්නේ, සිදු කළ යුත්තේ එම කාන්තාවන්ගේ වෘත්තීය ජීවිතය, දේශපාලන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විමසීම බව ය.

"සමාජ භූමිකාව ඉස්මතු කරලා 'ඔයා ගෙදර වැඩ කරල ද මෙතන ඉන්නේ' කියන එක මතු කරනවා. ඒ නිසා මාධ්‍යවලටත් වගකීමක් තියෙනවා. කාන්තාවක් ආවා ම එයා ගෙදර වැඩ කරල ද ඇවිල්ලා ඉන්නේ, එයාගේ පෞද්ගලික ජීවිතයේ මොනව ද වෙලා තියෙන්නේ කියලා හොයන්නේ නැතිව ඇයගේ වෘත්තිය ජීවිතය හෝ දේශපාලන ජීවිතය ගැන ප්‍රශ්න අහන්න එකයි කරන්න ඕනෑ."

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද බීබීසී සිංහල වෙත පැවසුවේ, ඇය ද එවැනි අවස්ථාවලට බහුලව මුහුණ දී තිබෙන බව ය.

"සම්මුඛ සාකච්ඡාවලදී ප්‍රශ්න අහනකොට කාන්තාවක් වීම නිසා ම අහන ප්‍රශ්නවලට මමත් ඕනෑ තරම් මුහුණ දීලා තියෙනවා. එතකොට මම ඔවුන්ගෙන් අහලත් තියෙනවා ඔයා දැන් ඕක පිරිමි කෙනෙක් ආවා නම් අහනව ද කියලා," ඇය පැවසුවා ය.

කාන්තාවන් යෝජනා කරන්නේ කුමක් ද?

බීබීසී සිංහල සමග අදහස් දැක්වූ දේශපාලනයේ නිරත කාන්තාවන් පෙන්වා දෙන්නේ, මෙවැනි තත්ත්වයන් නීතිරීති යොදා පාලනය කිරීම දුෂ්කර බව ය.

"මේ වගේ දේවල් නීති දාලා වළවක්වන්න බෑ. ඒ නිසා මිනිස්සු ආචාරධාර්මික විය යුතු යි," ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න පෙන්වා දෙයි. එමෙන් ම ප්‍රධාන මාධ්‍ය ද සාම්ප්‍රදායික නිර්ණයන්ගෙන් මිදී කාන්තාවන් සම්බන්ධ වාර්තා කිරීම් සඳහා යොමු විය යුතු බව ද ඇය පෙන්වා දුන්නා ය.

කෙසේ වෙතත්, රංගන ශිල්පිනී දමිතා අබේරත්න පෙන්වා දුන්නේ මෙවැනි සාම්ප්‍රදායික නිර්ණයන් සම්බන්ධයෙන් යම් නීති රාමුවක් ද පැවතිය යුතු බව ය.

"ළඟදි ආව ඔන්ලයින් සේෆ්ටි පනත වගේ නීතිරීති සකස් කරලා මෙම තත්ත්වය පාලනය කළ යුතු යි," ඇය පැවසුවා ය.

"පිරිමියෙක් දේශපාලනය කරනකොට ඔහුට තියෙන්නේ දේශපාලනය කරන එක පමණ යි. විශාල කැපකිරීමක් එක්ක දේශපාලනය කරන කාන්තාවට ඉතා ම අසභ්‍ය විදිහට බැනලා එක එක ඒවා පළ කරන්න ගියා ම ඔවුන් දේශපාලනයට එන එක තවතවත් අඩු වෙනවා. කාන්තාවන් අධෛර්යයට පත් වෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් යටතේ කාන්තාවක් ඉහළට එන එක ම විශාල අභියෝගයක්," හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පෙන්වා දෙයි.

දේශපාලනයේ නියුතු කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වත්මන් අගමැතිතුමිය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඇය පැවසුවා ය.

"නමුත් කනගාටුවට කරුණ ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය පත්වුණු සහ වර්තමානයේ අගමැතිතුමියක් පවා පත්වී සිටින රටක දේශපාලනය කරන කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරන්න ක්‍රමවේදයක් නොමැති වීම. ඒ නිසා කාන්තාවන් දෙශපාලනයට පැමිණීම ඉහළ නංවන්න පුළුවන් ප්‍රතිපත්ති සකස් කිරීමට හොඳ අවස්ථාවක් වර්තමාන අගමැතිතුමියට තියෙනවා."