ප්‍රතික්ෂේප කළ නාම යෝජනා පත්‍ර 35ක් යළි භාරගන්නැයි අභියාචනාධිකරණයෙන් මැතිවරණ කොමිසමට නියෝගයක්

Election commission

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

උප්පැන්න සහතික සාම විනිසුරුවරුන් විසින් සහතික කරනු ලැබීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ සිදු කළ දිවුරුම සම්බන්ධයෙන් ඇති වූ ගැටලු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස අභියාචනාධිකරණය බ්‍රහස්පතින්දා (අප්‍රේල් 10) අදාළ කොට්ඨාසවල තේරීම් භාර නිලධාරීන්ට නියෝග කළේ ය.

ඒ අනුව මෙම කරුණුවලට අදාළව ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 35කට ආසන්න සංඛ්‍යාවක් යළි භාර ගන්නා ලෙස අධිකරණය නියම කර තිබේ.

අදාළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල සාමාදාන විනිශ්චයකාරවරුන් විසින් සහතික කරන ලද නාම යෝජනා පත්‍ර සහ දිවුරුම් ප්‍රකාශය සම්බන්ධයෙන් ඇති වූ ගැටලු මත නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය යුක්තිසහගත බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අප්‍රේල් 04 වන දා නිකුත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක නඩු තීන්දුවක සඳහන් කර ඇතැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, මෙම කරුණට අදාළව තම අධිකරණය මීට පෙර ලබා දුන් තීන්දුව යළි සලකා බලන ලෙසත් මෙම කරුණට අදාළව අලුතින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා නොබලන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ ය.

එහෙත්, තම අධිකරණය එම තීන්දුව ලබා දෙන අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නිගමනය කර නොතිබූ බව පෙන්වා දුන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ශ්‍රේෂ්ඨධිකරණයේ එම නිගමනය මෙම අවස්ථාවේදී තම අධිකරණයට අදාළ නොවන බව පැවසීය.

ඒ අනුව, අදාළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේ ය.

ඊට අමතරව, එසේ ප්‍රතික්ෂේප කළ නාම යෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත තවත් රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරුන් දුන් නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය.

පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු දේශපාලන පක්ෂ සිය නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.