වසර 7කට පසු පැවැත්වෙන 2025 පළාත් පාලන මැතිවරණය ගැන දැනගත යුතු කරුණු

2025 පළත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම මේවන විට ආරම්භ කර තිබේ. පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික මැතිවරණ කොමිසම සූදානම් වන්නේ, 2023 වසරේදී එය කල් දැමුණු පසු බිම තුළයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

2025 පළාත් පාලන මැතිවරණය මැයි 06 පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව අද (මාර්තු 20) නිවේදනය කළේ ය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා 2023 වසරේදී නාම යෝජනා කඳවනු ලැබුව ද, පැවති රජයෙන් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය අරමුදල් ලබා නොදීම නිසා මැතිවරණය කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවිය.

එහෙත්, මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය අරමුදල් ලැබී ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක බීබීසී සිංහල වෙත පැවසීය.

ඔහු සඳහන් කළේ, පාළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලයන 8ක් පමණ වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව ය.

මැතිවරණය පැවැත්වෙන පළාත් පාලන ආයතන මොනවා ද?

2025 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත ඇත්තේ, පළාත් පාලන ආයතන 336ක් සඳහා ය.

ඒ අනුව, කල්මුණේ මහ නගර සභාව, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම ප්‍රාදේශීය සභාව, කිලිනොච්චිය පූනාකාරි සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව යන ආයතන හැර සෙසු පළාත් පාලන ආයතන සඳහා මෙවර මැතිවරණය පැවැත්වෙනු ඇත.

මෙවර මැතිවරණයෙන් මහ නගර සභා 28ක්, නගර සභා 36ක් ප්‍රාදේශීය සභා 272ක් සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, නියෝජ්‍ය සභාපති ඇතුළු සභිකයින් තෝරා පත් කර ගැනෙනු ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සූදානම කොහොම ද?

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට සියලු සංවිධාන කටයුතු මෙහෙයවමින් සිටියි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාර්තු 7 පැවසුවේ, රජයේ මුද්‍රණාලයාධිපති සහ තැපැල්පතිවරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ය. එමෙන් ම, මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් මාර්තු 6 වන සාකච්ඡා කළ බව ද ආර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ ය.

එමෙන් ම, මැතිවරණයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කරීම සඳහා සියලු ම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්වරුන් සමග මාර්තු 08 සාකච්ඡාවක් පැවත්වී තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,296,330කි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,296,330 දෙනෙකි.

150,000කට අලුතින් ඡන්ද අයිතිය

මෙවර පළාත් පාලන මැතිවණරණයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව ඉකුත් මහ මැතිවරණයට සාපෙක්ෂව ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,296,330කි.

එය පසුගිය ජනාධිපතිවරණයට සහ මහාමැතිවරණයට වඩා ඡන්දදායකයින් 155976ක වැඩි වීමකි.

මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක බීබීසී සිංහල වෙත පැවසුවේ, 2025 ජනවාරි 31 වන දා දක්වා කාලය තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ වන පිරිස මෙවර පළාත් පාලන මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබන බව ය.

ඇප තැන්පත් කිරීම සහ නාම යෝජනා භාර දීම

2025 පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට මාර්තු 3 වන දා සිට මාර්තු 19 වන දා දහවල් 12 දක්වා කාලය ලබා දී තිබුණි.

නාම යෝජනා භාර ගැනීම 2025 මාර්තු 17 වන දා සිට මාර්තු 19 වන දා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා සහ මාර්තු 20 වන දා දහවල් 12.30 දක්වා නාම යෝජනා භාරගැනීම සිදුවිය.

මාර්තු 13 පෝය දිනයේ සහ මාර්තු 08, 09, 15 සහ 16 යන සෙනසුරාදා, ඉරිදා දිනවල ඇප තැන්පත් භාර ගත්තේ නැත.

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මාර්තු12 වන දා මධ්‍යම රාත්‍රී 12න් අවසන් විය